Home / ඔක්කොම එකට / The Silence 2019 English Movie Review in Sinhala

The Silence 2019 English Movie Review in Sinhala

ලෝකයට ව්‍යසනයන් එන්නේ කලින් දැනුම් දීලා නොවෙයි. ඉතින් එහෙම එද්දී ඒකට යම් පෙර සූදානමක් අපිට සොබාදහමෙන් ලැබිල තියෙනවානම් ඒක වාසනාවක්. ලෝකයක් වසාගෙන වසංගතයක් පැතිරෙමින් පවතින මොහොතක ඔබට නරඹන්නට වටින සුවිශේෂී සිනමා නිර්මාණයක් ගැන තමයි මේ කියන්නට සූදානම.‍ #The_Silence කිව්වම ඔබ නරඹලත් ඇති. “ලෝකයක් නිහඬ කළ සත්වයින්” එහෙමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විසින් එය සිංහලයට නගා තිබුණේ.

මිනිසා ලෝකයේ ප්‍රමුඛ ජීවියා බවට පත්ව ඇති නිසා අප අද අභියෝගයකින් තොරව ජීවත් වෙනවා. නමුත් අපට අභියෝගයක් වන ප්‍රමාණයකට තවත් සත්ව විශේෂයක් හෝ භාහිර බලවේගයක් පැමිණියහොත් ලෝකයට කුමක් වේද? ‍‍

එවන් තත්වයකට නොවේ ද අද අපිත් මේ මුහුණ දීලා තියෙන්නෙ?

සිනමාපටය ආරම්භ වන්නට පෙර, නම් ගම් යන අතරතුර පෘතුවියේ වර්තමාන සංවර්ධනයේ අනිසි ප්‍රතිඵල පිළිබඳව යම් යම් ඉඟි ඇතුළත් දර්ශන පෙළක් පසුබිමින් දිවෙයි. මිනිසා තවමත් හරි ආකාරව ස්වභාවධර්මය තේරුම් ගෙන නොමැති බවකි. එය ස්වභාවයෙන්ම පවතින්නේ සමතුලිතතාවයකයි. මිනිසා විසින් ක්‍රමක්‍රමයෙන් එය සමතුලිතතාවයේ සිට අසමතුලිතතාවයක් දක්වා රැගෙන යන සෙයකි. මෙම අසමතුලිතතාව යනු මිනිසාගේ පැවැත්මට අවශ්‍ය පාරිසරික සාධකයන්ගේ අසමතුලිතතාවයක් මිස ‍ස්වභාව දහමට හානියක් වන දෙයක් නොවෙයි. මිනිසා මිහිමතින් තුරන් වී සුළු කාලයකින් පරිසරය යළි යථාතත්වයට පත්වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත ( https://www.facebook.com/brutamerica/videos/216087852281553/ ). එනම් මේ අසමතුලිතතාවය බලපෑම් කරන්නේ ‍‍මිනිසාගේ පැවැත්මට ම පමණකි.

යළි සිනමාපටය වෙතට යොමු වුවහොත්, එය ආරම්භ වන්නේ වසර මිලියන ගණනාවකට පෙර වැසීගිය පෞරාණික ගුහාවක් තුළ කැණීම් කටයුතු කරන විද්‍යාඥයන් ‍කණ්ඩායමක දර්ශනයකිනි. මේ කැණීම අතර ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට වවුලන් වැනි විලෝපික සත්ව විශේෂයක මිලියන ගණනක් නිදහස් වෙයි. මෙම සත්වයින් ලෝකය පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා.‍ මේ වන විට ලෝකය පුරා ප්‍රමුඛව පැතිරී සිටින මිනිසා ඔවුන්ට ඇති පහසුම ආහාරය බවට පත්වෙනවා. ‍වසර මිලියන ගණනක් පුරා පොළව යට සැඟවී සිටි මෙම සත්ව කොට්ඨාශයේ අලෝක සංවේදී ඉන්ද්‍රියයන් වර්ධනය වී නැහැ. එනම් ඔවුන්ට ඇස් පරිණාමය වී නැහැ. ‍නමුත් ඔවුන් ශබ්දයට අධික සංවේදීතාවයක් දක්වනවා. නොසිතූ මොහොතක මිහිතලය ආක්‍රමණය කොට මුළු ලොවම සුළු කාලයකින් නිහඬ කරන්නට සමත් වෙන මේ සත්ව විශේෂය විද්‍යාඥයන් “වෙස්ප්ස්” යන නමින් හඳුන්වනවා.‍

The Silence සිනමා පටය දිවෙන්නේ මෙම භයානක සත්ව විශේෂයෙන් ගැලවීමට තැත් කරනා එක් විශේෂ පවුලක් වටායි. එය විශේෂ පවුලක් වන්නේ එම පවුලේ වැඩිමහල් දියණිය බිහිරි වීම හේතුවෙනි. මෙම තත්වය යටතේ එය ඔවුන්ට ස්වභාව ධර්මයෙන් ලැබුණු දායදයක් වැන්න. ඇය බිහිරි වන්නේ උපතින් නොව වසර කීපයකට පෙර සිදු වන රිය අනතුරකිනි. එනිසා ඇයට කන් නොඇසුනත් කතා කරන්නට හැකියි. මේ නිසාම මෙම පවුලේ සියල්ලන්ටම දෑත් සංඥා භාෂාව හොඳට හුරුයි. ඇය කියනවා එක තැනක,

” තාත්තේ, මම දන්නවා නිශ්ශබ්දව ජීවත් වෙන විදිය ගැන. අපි හැමෝම දන්නවා..”
කියලා.

“හැමෝන්ටම තමන්ගෙම කියලා කථාවක් තියෙනවා” ඉතින් මේ ඔවුන්ගේ කථාවයි. මේ වන විට අප ඇත්ත වශයෙන්ම මුහුණ දී ඇති කොරෝනා වසංගත තත්වයේ දී වගේමයි මේ කථාවෙදිත් ප්‍රථමයෙන් කිසිවෙකුත් කුමක්ද සිදු වන්නේ කියා දන්නේ නැහැ. විවිධ ප්‍රචාරයන් පැතිරෙනවා. විටෙක එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස ආරංචි වෙද්දී, තවත් විටෙක එය රසායනික ප්‍රහාරයක් බව පැවසෙනවා. ඔය අකාරයෙන් ආරම්භ වන සිනමා පටයේ එක් තැනක තියෙනවා හරි භයානක සමාජ පරාවර්ථනයක්. සැබෑ සමාජ යථාර්ථයක් කීවත් වැරදි නැහැ. ‍‍‍‍‍

එය මෙහෙමයි. දුම්රිය මැදිරියක් තුළ මිනිසුන් සිරවී සිටියි. ඔවුන් නිහඬව බලා සිටියි. ඒ අතර මවක් දරුවෙකුට කිරි පොවයි. වටපිටාව ගැන කිසිත් නොදන්නා දරුවා එකවර අඬන්නට පටන් ගනියි. සියල්ලන් තැතිගෙන ඒ දෙස බලයි. එක් පිරිමියෙක් ඉදිරියට පැමිණ දරුවා උදුරගෙන එළියට දැමීමට සැරසෙයි. එය බලාසිටිය නොහැකි මව දරුවා සමඟ මැදිරියෙන් පිටතට යාමට ඉදිරිපත් වෙයි. මව් සෙනෙහස නම් එයයි. නමුත් මෙය වළක්වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි. එය නොවේද අද අප අත්දකින සමාජයේ සැබෑ යථාර්ථය.

අද දවසේ අපි ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස අඩස්සියට වී සිටියා වගේම එහි ද මාධ්‍ය මඟින් නිවේදනය කරනවා නිහඬව සිය නිවෙස් තුළට වී සිටින ලෙසට.

එතැනින් ඉදිරියට සිනමා පටය දිවෙන්නේ මේ විශේෂ පවුල, එහි මූලිකයා මෙම ව්‍යසනයෙන් ‍සිය පවුල රැක ගැනීමට දරණ උත්සාහය පිළිබඳවයි.

මේ හා සමානම සිනමා අත්දැකීමක් ඔබට The Quiet Place සහ Bird Box යන සිනමා නිර්මාණ හරහා ද ලබා ගත හැකි වනු ඇත.

ලෝකයේ නිර්මාණය වූ බොහෝ සිනමා නිර්මාණ වලට වඩා මා මෙම නිර්මාණයේ එක් විශේෂත්වයක් දකිනවා. ඒ තමයි ලෝකය යළි යථා තත්වයට ගෙන එන සුපිරි වීර ජවනිකා මෙහි අන්තර්ගත වන්නේ නැහැ. මිලියන ගණනක් වූ මෙම සතුන් සියල්ලක් විනාශ කොට පෙර තිබූ තත්වයට ලෝකය යළි ලඟාවෙන්නේ නැහැ. සැබෑ යථාර්ථය ද එය නොවේ දැයි අප සිතා බැලිය යුතු බව, මා යෝජනා කරමි.‍

ඔයාකාරයෙන් දිවෙන මෙහි අවසානයට අපේ කථා නායිකාව වන කන් ඇසීම දුර්වල පවුලේ වැඩිමහල් දියණිය කියන දෙබස හරි අපූරුයි.

…………………………………………………………………………

“අපි දන්නවා වෙස්ප්ස්ලා සීතලට අකමැතියි.
ඒත් අතීතයේදී සිද්ධ වුනා වගේ උන් පරිණාමය වෙලා අනුවර්තනය වේවිද?

මං දන්නේ මං එහෙම වුනයි කියලා විතරයි.

ඉතින් ඉතිරි මනුශ්ය සංහතියම පරිණාමය වෙයිද?
අපි මේ අළුත් නිහඬ ලෝකයට අනුවර්ථනය වේවිද?
ඒ වගේම උන්ගෙන් අපිව වෙනස් වෙන විදිහ මොන වගේ දෙයක්ද කියලා මතක් වෙයිද?

මං හිතන්නේ ඒක සත්ව වර්ග දෙකෙන් මුලින්ම කරන්නේ කවුද කියන එක ගැන ප්‍රශ්නයක්.”
…………………………………………………………………………

මින් අනතුරුව ලෝකය වෙස්ප්ස් සහ මිනිසා යන සත්ව විශේෂ දෙක අතර පවතින සටනක් ලෙස ඉදිරියට යනු ඇත. ඊට අනුරූපව පරිණාමය වනු ඇත. මේ යථාව අපද අද දවසේ වටහා ගත යුතු නොවේද?

2019 වර්ෂයේ Netflix ආයතනය මඟින් නිකුත් කෙරුණු, ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම විශිෂ්ඨ සිනමා අත්දැකීම සඳහා පාදක වී ඇත්තේ ‍Tim Lebbon ගේ The Silence නම් ග්‍රන්ථයයි. Kiernan Shipka, Stanley Tucci, Miranda Otto, John Corbett, Kate Corbett යන නළුනිළි කැල විශිෂ්ඨ රංගනයක යෙදෙන මෙහි අධ්‍යක්ෂණය ‍John R.Leonetti විසින් සිදු කර ඇත.

ස්තූතියි.

සටහන : යොෂාන් මධුසංක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *