The Platform 2019 | English | Movie Review

The Platform – අසාමාන්‍ය වේදිකාවක සැඟවූ අරුත 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Prageeth Shan ගේ ඡායාරූපය

පහුගිය කාලේ චිත්රපට සමූහයන්වල තරමක කතාබහට ලක්වුන සිනමාපටයක් විදියට The Platform සලකන්න පුලුවන්.. Netflix වෙතින් බෙදාහරින ලද තවත් හොඳ ගුණාත්මක නිර්මාණයක් විදියට මේකට ප්රේක්ශකයන්ගෙ මනාපය අනුව IMDB දර්ශකයෙ පවා 7/10 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා. නමුත් මේ චිත්රපටයෙ සමස්ථ අර්ථය ගත්තම මේ අගය මීට වඩා වැඩිවිය යුතු බවයි මගෙ මතය.. හරි එහෙනම් බලපු අයත් ඇති නොබලපු අයත් ඇති.. අපි ඉස්සෙල්ලම කතාව මතුපිටින් කියවමු..

කතාව ආරම්භයේදිම අපිට දකින්න ලැබෙන්නෙ අමුතු ආකාරයෙ සිර කුටියක් සහ එහි අවදිවන පුද්ගලයෙක්. ඔහු නමින් Goreng. මොහුට දකින්න ලැබෙනවා තමන් ඇර තවත් කෙනෙක් මේ සිරකුටියෙ සිටින බව සහ සිරකුටිය මැද ලොකු චතුරස්රාකාර සිදුරක් ඇති බව. ඉතින් මේ පුදුමාකාර සිරකුටිය අධ්යයනය කරද්දි ඔහුට දැනගන්නට ලැබෙනවා මෙහි ඔවුන්ට ඉහලින් හා පහලින් මෙවැනිම සිරකුටි ගණනාවක් තිබෙන බවත් තමන් සහ සගයා මෙන් එම සිරකුටි තුලද පුද්ගලයින් දෙදෙනා බැගින් සිටින බවත්.. ඔවුන්ගෙ කුටියෙ අංක 48 ලෙසින් සටහන් කර තිබෙනවා.. මේ අතරෙ ඔහු සමහ සිටින අනෙක් පුද්ගලයා වෙන Trimagasi මේ සිරගෙය ගැන ඔහුට අපැහැදිලි විස්තරයක් සිදුකරනවා.. චතුරස්රාකාර සිදුර ඇත්තේ ආහාර ගැනීමට බවත් එය විටෙක පහසු වුවත් විටෙක ඉතාම දුශ්කර බවත් Trimagasi කියනවා.. ඔහු කියන්නෙ අංක 48 යනු හොඳ මට්ටමක් බවයි.. ඒ අතරෙ එක්වරම ඔවුන්ගෙ කුටියට ඉහලින් වේදිකාවක් පැමිණ ඔවුන්ගෙ කුටිය තුල මේසයක් ලෙසින් ස්ථානගත වෙනවා.. එහි පිරී තිබෙන්නෙ මොනවද… ඇත්තටම ඒ ආහාර… නමුත් අපි කෑමට ප්රිය කරන ආකාරයට නම් නෙමේ.. වේදිකාව පුරා විසිරුණු, කවලම් උනු කෑම රාශියක් එහි තිබෙනවා.. Trimagasi සෑහෙන කාලෙකුන් කෑම නොදැකපු පුද්ගලයෙකු මෙන් ආහාර ගිලගෙන ගිලගෙන යන ආකාරය අනෙක්පස සිටින Goreng පුදුමයෙන් බලාසිටිනවා.. Trimagasi ඔහුටද ඉක්මනින් ආහාර ගන්නා ලෙස පවසනවා. නමුත් Goreng අසීරුවෙන් කෑම තොගයෙන් එක පලතුරක් පමණක් රැගෙන එයපසුව කෑමට සාක්කුවේ දමාගන්නවා. එක්වරම නිසලව තිබූ වේදිකාව චලනය වන්නට පටන්ගන්නවා. එය පහලට යනවා. ඒ පහල සිරකුටියට ගොස් පෙර පරිදිම නතරවෙනවා.. එක්වරම Goreng ට තාපයක් දැනෙන්න ගන්නවා. කුටිය ක්රමක්රමයෙන් රත්වෙනවා.. ඇයි මේ.. ඔවුන් දෙදෙනාටම කුටිය තුලම පිලිස්සෙන්නට සිදුවේවිද.. මේ අත්භූත කෑම තියෙන වේදිකාව කුමක්ද… එය සිරකුටි කොපමණ පසුකර යාවිද.. පහලම අයට කෑම ලැබෙනවද… ජීවත් වෙන්න ඔවුන් මොනවා කරාවිද…වේදිකාවෙ අවසාන නැවතුම කොතනද… මේ ප්රශ්න රාශියට පිලිතුරු හොයාගන්න නම් මේක බලන්නම වෙනවා. ඔන්න මං කුතුහලය අවුස්සලා තියෙන්නෙ.. දැන් බලන එක තමයි එකම විකල්පය…😁😁

හරි එහෙනම් මීට පස්සෙ මං කියන ටික බලන්න ඕන මේ චිත්රපටිය අවසානය වෙනකන් අවධානයෙන් බලපුකෙනෙක් නම් විතරයි. Film එක බලලා තාමත් මොකක්ද ඒ උනේ… මොකක්ද ඒකෙ තේරුම කියලා හිතාගන්න බැරිව ඉන්නවනම් මේ තමයි තරමක සරල ආකාරයෙන් මේ චිත්රපටය ගැන මට තේරෙන අර්ථය.. ඉස්සෙල්ලම බලලා හොඳට හිතන්න.. පස්සෙ මේක කියවන්න…

🚫🚫🚫🚫🚫🚫 Spoiler Alert 🚫🚫🚫🚫🚫🚫

හරි එහෙනම්.. අපි මුලින්ම මේ සිරකුටි ජාලය ගැන අදහසක් ගමු.. මේ තුලට අවශ්ය කෙනෙක්ට පැමිණීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා. මුලදිම ලබාගන්නා සම්මුඛ පරීක්ශණය අනුව තොරතුරු ලබාගෙන අවසානයේ අදාල පුද්ගලයට සිරකුටිය තුලට රැගෙනයාමට අවශ්ය යම් එක් දෙයක් තෝරාගන්න හැකියාව තිබෙනවා. මේ රැගෙන යන දේ සිරගෙයින් නිදහස් වීම දක්වාම ඔහු සන්තකයේම තැබීමට පාලකයින් වගබලාගන්නවා. සිරකුටි ගැන කතාකලොත් මුලදි සිරකුටි 250 කියලා අනුමාන කරගෙන හිටියත් අවසානයෙදි අපිට දැනගන්න ලැබෙනවා ඇත්තටම මෙතන සිරකුටි 333ක් තිබෙන බව. ආහාර සහිත වේදිකාව 0 හෙවත් ඉහලම මාලයේ ඉදන් පිලිවෙලින් මේ සිරකුටි 333 දක්වාම ගමන් කරනවා. යමෙකුට මිනිත්තු තුනක් ආහාර ගන්න ලැබෙනවා වගේම වේදිකාවෙන් ආහාර කිසිම දෙයක් තමන් ලඟ තියාගන්න තහනම්. යම් විදියකට තියාගත්තොත් අවසානයේදි ඒ කුටියෙ සිටින්නන් සියලු දෙනාම අධික ශීතල හෝ අධික උශ්ණත්වය යටතේ මියයාමට සිදුවෙනවා. ඒවගේම මාසයකට වරක් මේ සිරකුටි මාරු කිරීමක් සිදුකරනවා.. චිත්රපටිය බලපු ඕනම කෙනෙක්ට මේ කියපු කාරණා ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති.. දැන් අපි යමු මෙහි තිබෙන සැඟවුණ කාරණා වලට…

මාසයකට වරක් සිරකුටි මාරු කිරීමේදී අපිට සිතෙන්නෙ එය අහඹු ලෙස මාරු කිරීමක් විදියට නේද.. නමුත් ඇත්තටම එහෙම නෑ. ඒක තීරණය වෙන්නෙ ඒ අදාල පුද්ගලයාගෙ ආහාර ගැනීමේ චර්යාව මතයි. යම් විදියකට කුටියෙ සිටින දෙදෙනා සමගියෙන් යුතුව ආහාර ගෙන සිටියොත් ඔවුන්ව ඉන්පසුව ඊට පහල මට්ටමක් දක්වා මාරු කරනවා. යම්හෙයකින් සගයන් දෙදෙනාගෙන් කෙනෙක් අනික් කෙනාව මරා ආහාරයට ගත්තොත් ඒ අවස්ථාවේදි ඔහු හෝ ඇයව ඉහල මට්ටමක් කරා මාරුකිරීම සිදුකරනවා. දැන් අපි චිත්රපටයෙ සිදුවීම් බැලුවොත් Goreng සහ Trimagasi 48 වෙනි කුටියෙ ප්රශ්නයක් නැතුව ඉන්නවා. ඒ නිසා ඔවුන්ව ඊට පහල මට්ටමක් වෙන 171 වෙත මාරුකරනවා. ඉන්පසුව එහිදි Goreng අතින් Trimagasi මියයනවා. මේ නිසා Goreng ව නැවත් ඉහල මට්ටමක් වෙන 33 වෙත මාරුකරනවා. නැවත එහි සිටින Imoguiri සමග ඔහු සමගියෙන් ඉන්නවා.. එමනිසා නැවත ඔවුන්ව ඉතා පහල මට්ටමක් වෙන 202 කරා එවනවා. නැවතත් එහිදි මියයන Imoguiri ව කුසගින්න නිසාම ආහාරයට ගන්න Goreng ව යලිත් 6 වෙනි මට්ටම කරා යැවෙනවා.. දැන් පැහැදිලි වෙන්න ඇති මේ යාන්ත්රණය වැඩකරන ආකාරය. මෙයින් අධික කුසගින්නෙ පෙලුන අයෙක්ව නැවතත් එයටත් අසීරු තැනකට යැවීම සිදුවන්නෙ නෑ. එය තරමක හෝ සාධාරණ යාන්ත්රණයක් බව දැන් වැටහෙන්න ඇති.

ඉන්පසුව සෑම මාරුවකදිම තමන්ගෙ දියණිය සොයා පහලට යන Miharu ගැන අදහසක් ගමු. ඇත්තටම Miharu කියන්නෙ මේ කතාවෙ ඉන්න වැදගත්ම චරිතය කිව්වත් වැරැද්දක් නෑ. මේ System එක ගැන හොඳම අවබෝධයක් ඇතුව වැඩකරන එකම කෙනා තමයි Miharu. ඒ කොහොමද කිව්වොත් අපි අවසානය දක්වාම විශ්වාස නොකරන මේ සිරකුටි අතරෙ අවසාන කුටියෙ ඉන්න දරුවව ජීවත් කරවීම තමයි ඇයගෙ එකම කාර්යය. ඇය ඒක කරන්නෙ කොහොමද කියලා අපි බලමු. චිත්රපටියෙදි අපි දකිනවා Miharu හැම අවස්තාවකම එන්නෙ ඉහල කුටියක ඉදලා. හැම මාසෙම ඇය ඉහලම ඉන්නෙ කොහොමද කියන කාරණයත් අපිට කතාව අතරතුරේම පොඩි කරුණකින් හිතාගන්න පුලුවන්. ඒ තමයි ඇය නිතරම තමන් සමග සිටින සගයව අනුකම්පාවකින් තොරව මරාදැමීම. ඒ නිසාම කලින් මං කියපු කුටි මාරුකරන පටිපාටිය අනුව ඇය අනිවාර්යෙන්ම ඉහලම කුටියකට මාරුකරනවා… ඉතින් ඇයි ඇය නිතරම ඉහලම කුටියකට යන්න උත්සාහ කරන්නෙ.. ඒකට හේතුව තමයි ආහාර.. ඉහල කුටියකට ගියාම ඇයට පුලුවන් ඉහල සිටම කුඩා දරුවාට ජීවත් වෙන්න ප්රමානවත් ආහාර ප්රමාණයක් ආරක්ෂා කරගෙන පහලම කුටියට යන්න. ඒ අතරෙ හමුවෙන ප්රතිවාදීන්ව මරාදමන්නත් ඇය පොඩ්ඩක් වත් පැකිලෙන්නෙ නෑ. ඊලඟ ප්රශ්නෙ ඇයි දරුවා පහලම කුටියෙම ඉන්නෙ. ඒකට හේතුවත් ඉතාම සරලයි. ඇය මෙහි ඉන්න එකම දරුවා නිසා ඇය අතින් කවමදාවත් තමන් සමග සිටින කෙනා මරණයට පත්වෙන්නෙ නෑ. ඒ නිසා ඇය හැමදාමත් ඉන්නෙ පහලම කුටියෙ. ඇයගෙ ආරක්ශාව උදෙසාත්, කුසගින්න නිවා ජීවත් කරවීම සඳහාත් තමයි Miharu ඉහල සිට පහලටම ජීවිතයත් මරණයත් අතර චාරිකාවක් සෑම මාසයකම යන්නෙ..ඒවගෙම ඇයගෙ අවසන් හුස්ම පොද දක්වාම ඈ එම වගකිම ඒ අයුරෙන්ම ඉශ්ට කරනවා.. ගැහැණියකට ඇතිවෙන දරු සෙනෙහස පුදුමාකාරයි නේද..

ඔන්න දැන් තමයි අපි එන්නෙ මේ චිත්රපටයෙ තියෙන වැදගත්ම කාරණාවට.. බලපු අයට මතක ඇති Goreng ගෙන් Imoguiri අහනවා ඔහුගෙ කැමතිම ආහාරය මොකක්ද කියලා. ඒවගේම ඒක මෙනු එකට ඇතුලත් කරගන්න සටහන් කරගන්නවා. ඉන්පසුව Goreng 33 වන මට්ටමේ කුටියෙ ඉන්න අවස්ථාවෙදි ඔහු අහම්බෙන් ඒ ඔහු ප්රියතම ආහාරය යැයි කියූ ආහාර දීසියක් දකිනවා. ඔහු මීට පෙර එය දැක තිබුනේ නෑ.. මොකද ඊට ඉහලින් සිටින අය එය කා දමා තිබුන නිසා.. මේ අවස්තාවෙදි ඔහු එය අතට ගත්තත් ආහාරයට ගන්නවා පෙන්වන්නෙ නෑ. නමුත් මෙයින් එක වැදගත් පණිවුඩයක් අපට ලබාදෙනවා. ඒ තමයි මේ සිරකුටි වලට ඇතුල් කරගන්නා සෑම කෙනෙක්ම ඉල්ලා සිටින ප්රියතම ආහාර සෑම එකක්ම ඔවුන් ආහාර වේදිකාව තුලට ඇතුලත් කරනවා. සරලවම කිව්වොත් 1 සිට 333 දක්වා සිටින සෑම කෙනෙක්ටම එහි ආහාරයක් වෙන්වෙලා තියෙනවා. ඒ තමයි ඔවුන් කැමතිම ආහාරය. ඉතින් ඉහල සිට පහල දක්වාම සෑම කෙනෙක්ම තමන්ගෙ ආහාරය පමණක් ගන්නවා නම් එහි සෑම සිරකරුවෙක්ගෙම කුස පිරීමට අවශය කරන ආහාර ප්රමාණය අන්තර්ගත වෙලා තියෙන්නෙ. තවත් වැදගත් කාරණයක් සඳහන් කලොත් අවසානයට අපි දකිනවා අවසාන කුටියෙදි Goreng සහ Baharat ට අමතක වීමකින් පුඩිං පිඟාන නැවතත් වේදිකාවට දාන්න බැරිවෙනවා. අපි ඒ වෙනකන් දැනගෙන හිටපු විදියට එහෙම උනොත් හිමිවෙන අනිවාර්ය ඉරණම තමයි මරණය. නමුත් මෙහිදී ඉතාමත් පුදුම සහගත ලෙස ඔවුන් දෙදෙනාටවත් දැරියට වත් කිසිම අනතුරක් වෙන්නෙ නෑ.. ඒ අත්වැරදීමක්ද….. ඇත්තටම නෑ. ඒකටත් ලොකු හේතුවක් තිබෙනවා. ඒ තමයි ඒ පුඩිම අයිතිකාරි ඒ කුටිය තුලම සිටීම. වෙනත් විදියකට කිව්වොත් කුඩා දැරියගෙ ප්රියතම ආහාරය තමයි ඒ පුඩිම. දැන් තේරෙනවා නේද.. තමන්ට හිමි ආහාරය පමණක් වේදිකාව තුලින් අරගෙන තමා සන්තකයෙ තියාගැනීමෙන් ඒ අදාල කෙනාට කිසිදු හානියක් වෙන්නෙ නෑ. දැන් වැටහෙනවා ඇති අපි චිත්රපටය අවසානය දක්වාම වෛර කරන system එක ඔවුන්ට කොයිතරම් සර්ව සාධාරණව යුක්තිගරුකව සලකනවද කියලා. ඇත්තටම සිරකාරයින්ට තිබෙන්නෙ තමන් ප්රියකරන ආහාරය තමන්ගෙම අසලට ආ පසුව එය පමණක් අරගෙන නිවී හැනහිල්ලෙ ආහාරයට ගන්නයි. නමුත් මෙතනදි ඒ සර්ව සාධාරණ system එකේ ක්රියා පටිපාටියට එදිරිව ගිහින් තම තමන්ගෙම විනාශය ලඟාකරගන්නෙ මිනිසා සතුවම තියෙන අසීමිත තණ්හාව ආශාව නිසාවෙන්මයි. පහල සිට ආහාර බිඳක් නොමැතිව තම සගයින්වම මරා ආහාරයට ගනිමින් සිට අවසානයේ ඉහලට පැමිණි පසු ඔවුන් බහුතරයක් දෙනා තමන් පෙර සිටි තත්වය අමතක කරනවා. පහලත් තමා පෙර සිටි ආකාරයටම තව බොහෝ දෙනා කුසට අහරක් නොමැතිව එකිනෙකා මරා කන බව අමතක කර දමනවා.. පහල සිටින්නේද තාම සේම කුසගිනි දැනෙන මිනිසුන් බව ඉහල සිටිනවුන් අමතක කර දමනවා.. මෙය ඇත්තටම සමාජයේ යතා ස්වභාවයම නේද. අප සමාජයේ පවා බොහෝදෙනෙක් දුක් මහන්සියෙන්, අන් අයගේ උපකාරයෙන් සමාජයේ ඉහලටම ගමන් කර අවසානයේ තමා පැමිණි දුප්පත් සමාජයටම තාඩන පීඩන එල්ලකරමින් යෙහෙන් වැජඹෙනවා. එසේම සෑම දෙනාම System එක වැරදිබව පවසමින් තම තමන්ගෙ යුතුකම් පැහැර හරිනවා විනා System එක නිවැරදිව ගෙනයාමට තමන්ටත් වෙන් වෙන්ව පැවරෙන වගකීමක් තිබෙන බව සිතට ගන්නෙ නැහැ. ඉතින් මිනිසුන් වශයෙන් අප හැමදෙනාම එකිනෙකා කෙරෙහි සර්ව සාධාරණව, ආත්මාර්ථයෙන් තොරව සිතනවා නම්, තම තමන්ගෙ යුතුකම් ඉටු කරනවා නම් මේ සමාජය මිනීමැරුම්, සොරකම් වලින් ඈත් වුන යහපත් සාමකාමී සමාජයක් වීම් කාටවත් වලක්වන්න බෑ. හරියට තමන්ගෙ කොටස ආහාරයට අරගෙන සිරකුටිය පුරාම මිනිසුන් සාමදානයෙන් ඉන්න තිබුනා වගේ.. නමුත් අවාසනාවකට එය එලෙස සිදුවෙන්නෙ නෑ. එයයි යතාර්ථය. මෙය වෙනස්ම සංකල්පයක සිනමාපටයක් වුවත් මෙයින් පෙන්වන්නේද නිවැරදිවම ඕනෑම සමාජයක තිබෙන යතාර්ථයමයි. ඉතින් චිත්රපටය නරඹලා මෙයින් අදහස් කලේ මොනවගේ දෙයක්ද කියලා හිතාගන්න බැරි අයට අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු සමහ මගේ අදහස්ද එකට ගලපලයි මේ සටහන අරගෙන ආවෙ. එහෙනම් තවත් මේ ආකාරයෙ සටහනකින් හමුවෙමු. ඔබට ජය…

PRG…

Prageeth Shan

අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *