වත්මන් දකුණු ඉන්දීය සිනමාවේ සාත්වික හැඩකාරිය|The Natural Beauty Of Present South Indian Cinema|සායි පල්ලවී|Sai Pallavi Sinhala Article |சாய் பல்லவி

ඇය සායි පල්ලවි සෙන්තාමරෛ ය. සෙන්තාමරෛ කන්නන්ට හා රාධා කන්නන්ට දාව පල්ලවි, 1992 මැයි 9 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොතගිරි හී දී මෙලොව එළිය දුටුවා ය. ඇය හැදි වැඩුණේ සහ පාසල් අධ්‍යාපනය නිම කළේ කොයිම්බතූර් හී දී ය. ඇය නිළියක් මෙන් ම වෘත්තීයෙන් වෛද්‍යවරියක් ද වෙයි. ඇය ජෝර්ජියාවේ Tbilisi State Medical University හී වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවා ය. ඇයගේ සහෝදරිය පූජා කන්නන් වන අතර ඇය ද වෘත්තීයෙන් නිළියකි.

ප්‍රධාන නිළියක ලෙස සිනමාවට පිවිසෙන්නට ප්‍රථම ඇය 2008 දී විජෙයි නාළිකාවේ උන්ගලිල් යාර් අඩුත්ත ප්‍රභූදේවා හා 2009 දී ETV තෙළිඟු නාළිකාවේ Dhee Ultimate Dance Show (Season 4) යන නර්තන රියැලිටි වැඩසටහන්වලට ද සහභාගි විය.
පල්ලවි සිනමාවට පිවිසෙන්නේ කස්තුරිමාන් (2003) නම් චිත්‍රපටයෙන් ළමා නිළියක ලෙසයි. නමුත් ඇය එහි රංගනයේ යෙදෙන්නේ සුළු චරිතයක් ලෙසිනි. පසුව ඇය 2008 වසරේ දී ධාම් ධූම් චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ ඥාතියෙකුගේ චරිතය රඟ දක්වන්නේ ද ළමා නිළියක ලෙසයි.

අවුරුදු 7කට පසුව අධ්‍යක්ෂක අල්පෝන්සු විසින් ඇය ජෝර්ජියාවේ අධ්‍යාපනය ලබමින් සිටිය දී, ප්‍රේමම් චිත්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා ඇයට ආරාධනා කරයි. නොසිතූ විලසින් සෑම අතින් ම ප්‍රේමම් චිත්‍රපටය සාර්ථක වන අතර ප්‍රේමම් චිත්‍රපටය සඳහා පල්ලවීට ෆිල්ම් ෆෙයාර් හොඳම නවක නිළිය සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට අවස්ථාව ලැබෙයි. පසුව ඇය කලි, ෆිදා, මිඩ්ල් ක්ලාස් අබ්බායි, දියා, පඩි පඩි ලේචේ මනසු, මාරි 2, අතිරන් හා එන්.ජී.කේ. නම් චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂකයන්ගෙ හදවත් සොරා ගන්නට විය. ඇය රංගනයෙන් දායක වූ මාරි 2 චිත්‍රපටයේ Rowdy Baby ගීතය දැනට Youtubeහී දකුණු ඉන්දියාවේ වැඩිම views (Views 550M+) ප්‍රමාණයක් හිමි ගීතය වෙයි. දැනට ඇය සම්මාන 13කට නිර්දේශ වී ඇති අතර එයින් සම්මාන 10කට ම උරුමකම් කියයි.

Source – Wikipedia
© Nethmi Parindya Ranathunga
2019 July 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *