The Lady Superstar Sinhala Articles | නයන්තාරා

Nayan_Award_Function

ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි. දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.

නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ ”මනස්සිනක්කරේ” තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ ”අයියා” (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ”ලක්ෂ්මි” (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූයේ අනුෂ්කා ෂෙට්ටිගෙන් පසු දකුණු ඉන්දියාවේ වැඩිම ආදායමක් ලබන නිළිය බවට පත්වෙමිනි.

2010දී ඇය සිය කන්නඩ චිත්‍රපට ආගමනය සනිටුහන් කළේ කන්නඩ-තෙලිඟු දිවීභාෂා චිත්‍රපටයක් වන ”සුපර්” තුළිනි. මෙය මෙතෙක් ඇගේ එකම කන්නඩ චිත්‍රපටය වේ. ”කෝචි ටයිම්ස්” පුවත්පත විසින් ඇයව “2014 වර්ෂයේ වඩාත් ප්‍රියමනාප නිළියන් 15 දෙනාගේ ලැයිස්තුව”ට ඇතුළත් කරන ලදී. “පුතිය නියාමම්” (2016) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2017දී හොඳම මලයාලම් නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ ඇගේ මව්භාෂාවෙන් ලද ප්‍රථම ෆිල්ම්ෆෙයාර් සම්මානය ලෙසයි. රාජා රාණි චිත්‍රපටයට හා දෙමළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් ලෙස ඇය තමිල්නාඩු රජයේ සම්මානය හිමිකර ගත්තාය. Forbes India Celebrity 100 (2018) ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දකුණු ඉන්දීය නිළිය වූයේ ඇයයි. ඒ ඇයගේ ඉන්දියානු රුපියල් කෝටි 15.17ක් ඉපැයීම වෙනුවෙනි. ඇය දැනට සම්මාන 58කට නිර්දේශ වී ඇති අතර එයින් සම්මාන 45ක් දිනා ගත්තා ය.

මුල්කාලීන දිවිය

කේරළයේ තිරුවල්ලහී කොඩියට්ටු වංශයෙන් පැවත එන මලයාලි කතෝලික දෙමව්පියන් වන කොඩියට්ටු කුරියන්ට හා ඔමානා කුරියන්ට දාව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරුහී දී නයන්තාරා උපත ලැබුවා ය. ඇයට වඩා අවුරුදු 9ක් වැඩිමල් ඇගේ සහෝදරයා වන ලේනු කුරියන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙයි. නයන්තාරාගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකු වු බැවින් නයන්තාරාට අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ උතුරු ඉන්දියාවෙයි. ඇය ගුජරාටයේ ජම්නගර්හී දී හා දිල්ලියේදී මූලික පාසල් අධ්‍යාපනය ලැබුවා ය. පසුව තිරුවල්ලහී Balikamadom Girls Higher Secondary Schoolහී දී ද්විතීයික අධ්‍යාපනය හදාරා තිරුවල්ලහී Marthoma Collegeහී දී ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිය අවසන් කළා ය.

වෘත්තීය

මලයාලම් සිනමාවට ආගමනය (2003 – 2004)

උපාධිය හදාරමින් සිටින අතරතුර දී ඇය අර්ධ කාලීන රැකියාවක් ලෙස නිරූපිකාවකව කටයුතු කළා ය. ඇයගේ යම් නිරූපනය කිරීම් දැකීමෙන් පසු අධ්‍යක්ෂවරයෙක් වන සත්‍යන් අන්තික්කඩ් ඇයව ඔහුගේ චිත්‍රපටයක් වන “මනසින්නක්කරේ” (2003) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ ය. ඒ ඇයගේ සිනමා ආගමනයයි. එම චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක වූවත් ඇය රංගන කෙරෙහි ඇල්මක් නොදක්වන බවද, එම චිත්‍රපටයෙන් ම ඇය රඟපෑම නවතන බව කීවද එම චිත්‍රපටය ඉහළ ආදයම් ලැබූ චිත්‍රපටයක් බවට පත් විය. එම නිසා ඇය චිත්‍රපටයන් රඟපෑමට භාර ගැනීම ආරම්භ කළා ය. 2004 වසරේ තිරගත වූ ශාජි කෛලාස්ගේ “නාට්ටුරාජාවු” චිත්‍රපටයට සහ ෆාzසිල්ගේ Psychological thriller චිත්‍රපටයක් වන “විශ්මයතුම්බදු” චිත්‍රපටයට ද ඇය රංගනයෙන් දායක වූවා ය. එම චිත්‍රපටයේ ඇගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ද ලක් විය. එමෙන් ම “තස්කර වීරන්” සහ “රප්පකල්” චිත්‍රපටවලට ද රංගනයෙන් දායක් වූවා ය.

දමිළ හා තෙළිඟු සිනමාවට ආගමනය (2005 -2007)

2005 වර්ෂයේ දී දමිළ සිනමාව වෙත පියමන් කළ ඇය තම කුළුඳුල් චිත්‍රපටිය ලෙස තෝරාගත්තේ සරත් කුමාර්ගේ චිත්‍රපටියක් වන “අයියා” චිත්‍රපටියයි. එහි අධ්‍යක්ෂක හරී ය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇයට ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයක් වන “චන්ද්‍රමුඛී” හී රඟපෑමට අවස්ථාව හිමි වේ. ඇයව එම චිත්‍රපටය සඳහා නිර්දේශ කරන ලද්දේ චන්ද්‍රමුඛී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ බිරිඳයි. ඒ ඇය මනසින්නක්කරේ චිත්‍රපටය තුළින් දුටු නයන්තාරාගෙ රංගන කුසලතාවය හේතුවෙනි. චන්ද්‍රමුඛී චිත්‍රපටය පුරා දින 800ක් ඔස්සේ සිනමාහල්වල තිරගත කරන ලදි. අනතුරුව ඇය ඒ.ආර්.මුරුගදාස්ගේ “ගජිනි” චිත්‍රපටයේ සහය නිළිය ලෙස රඟපෑවා ය. අනතුරුව ඇය අධ්‍යක්ෂක පෙරරාසුගේ “සිවකාසි” චිත්‍රපටයේ ගීතයකට පමණක් නර්තනයෙන් දායක වූවා ය.

2006 වසරේ නයන්තාරාගේ පළමුවෙන්ම තිරගත වූ චිත්‍රපටය වූයේ “කල්වනින් කාදලී” චිත්‍රපටයයි. අනතුරුව ඇය තෙළිඟු සිනමාවට පා තැබුවා ය. ඒ “ලක්ෂ්මි” චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රඟපෑ “බෝස්, අයි ලව් යූ” නම් තෙළිඟු චිත්‍රපටය තිරගත විය. අනතුරුව සමකාලීන ලෙස දීපවාලි සමයේ “වල්ලවන්”, “තලෛමගන්” සහ “ඊ” යන චිත්‍රපට තුනම තිරගත විය. චිත්‍රපට තුන, තුන් ආකාරයකට විචාරකයන්ගේ පැසසුමට ලක් විය. වල්ලවන් තුළ ඇය තමන්ට වඩා බාල තරුණයෙකුට පෙම්බැඳීන විශ්ව විද්‍යාල ආචාර්‍යවරියකගේ චරිතය හෙබවිය. ඊ චිත්‍රපටය තුළ ඇයගේ චරිතය වූයේ සමාජ ශාලාවක නර්තනයේ යෙදී ජීවත් වන තරුණියකගේ චරිතයකි. තලෛමගන් තුළ ඇය වාර්තාකාරිනියකගේ චරිතය රඟපෑවා ය.

ජනතා පිළිගැනීම සහ පුළුල් සාර්ථකත්වය (2007 – 2011)

විශ්නුවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “බිල්ලා” (2007) චිත්‍රපටය තුළින් නයන්තාරා නැවතත් ජනතා ආකර්ෂණය ලබා ගත්තා ය. මෙම චිත්‍රපටය 1980දී තිරගත වූ බිල්ලා නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර එය මුදල් ඉපැයීම අතින් අතිසාර්ථක විය. මෙහි නයන්තාරාගේ සාෂා චරිතයට විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමි විය. මේ චිත්‍රපටය වෙනුවෙන් ඇයට විජෙයි සම්මාන උළෙල හී දී ප්‍රියතම නිළියට හිමි සම්මානය ද හිමි විය. 2008 වසරේ දී නයන්තාරා රඟපෑ චිත්‍රපට පහක් තිරගත වූ අතර එයින් හතරක් ම දමිළ චිත්‍රපට විය. එයින් ප්‍රථමයෙන් තිරගත වූයේ “යාරඩී නී මෝහිනී” නම් චිත්‍රපටයයි. ඇය නැවත වරක් විජෙයි සම්මාන උළෙල හී දී ප්‍රියතම නිළියට හිමි සම්මානය මේ චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගත් අතර 56වන දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල හී දී හොඳම නිළිය සම්මානයට ද නිර්දේශ වූවා ය. එම වසරේ තිරගත වූ ඇයගේ අනෙක් චිත්‍රපට වන්නේ “කුසෙලාන්” (මෙම චිත්‍රපටය “කාතනයකුඩු” නමින් තෙළිඟු බසින් ද තිරගත විය), “සත්‍යම්” (මෙම චිත්‍රපටය “සෙලියුට්” නමින් තෙළිඟු බසින් ද තිරගත විය) සහ “ඒගන්” යන චිත්‍රපට තුනයි. කුසෙලාන් චිත්‍රපටයට ඇය දායක වූයේ ආරාධිත රඟපෑමක් ලෙස ඇයගේ නමින්ම ය. 2009 වසරේ දී ඇය රංගනයෙන් දායක වූ “විල්ලු”, “අන්ජනේයුලු” සහ”ආදවන්” යන චිත්‍රපට තිරගත විය.

2010 වසරේ දී ඇය ප්‍රධන නිළිය වශයෙන් රඟපෑ භාෂා 4ක චිත්‍රපට පහක් ම ආදායම අතින් අතිසාර්ථක විය. ඒවා නම් “අධූර්ස්” (තෙළිඟු), “බොඩිගාර්ඩ්” (මලයාලම්), “සිම්හා” (තෙළිඟු), “බෝස් එන්ගිර බාස්කරන්” (දමිළ) සහ “සුපර්” (කන්නඩ/තෙළිඟු) යන චිත්‍රපටයි. ඇය බොඩිගාර්ඩ් හී රංගනය වෙනුවෙන් ඒශියානෙට් සම්මාන උළෙල හී දී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇයගේ සිම්හා චිත්‍රපටය එම වසරේ ඉහළ ආදායම් ලාභී චිත්‍රපට අතරට එක් වූ අතර, බෝස් එන්ගිර බාස්කරන් චිත්‍රපටයට ද සුබවාදී ප්‍රතිචාර හිමි වූ අතර ආදායම් අතින් ද සාර්ථක විය. ඇයගේ කන්නඩ සිනමා ආගමනය උපේන්ද්‍රාගේ සුපර් චිත්‍රපටය තුළින් සිදු වූ අතර එහි ඇගේ රංගනයට විචාරකයන්ගේ හොඳ ප්‍රතිචාර හිමි විය. ඇයගේ එම චිත්‍රපට තුන වෙනුවෙන් ඇයව ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මාන සඳහා ද නිර්දේශ විය. එමෙන්ම විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර හිමි වූ ශ්‍යාමප්‍රසාද්ගේ “එලෙක්ත්‍රා” චිත්‍රපටය සඳහා ද ඇය රංගනයෙන් දායක විය. එම චිත්‍රපටය සඳහා හිමි වූ විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාරවල වටිනාකම තවත් වැඩි වූයේ එය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival of India)හී දී ප්‍රදර්ශනය වීමෙනි. එමෙන් ම මෙම චිත්‍රපටය ඩුබායි අන්තර්ජාතික සිනමා උළෙල (Dubai International Film Festival) හී දී ද ප්‍රදර්ශනය කරන ලදි.

ඇය සීතාගේ චරිතය රඟ දක්වමින් රංගනයෙන් දායක වූ බාබූගේ “ශ්‍රී රාම් රාජ්‍යම්” චිත්‍රපටය 2011 වසරේ ඇය විසින් රඟ පෑ එකම චිත්‍රපටය විය. එම චිත්‍රපටය සඳහා ද නයන්තාරාට විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර හිමි විය. ශ්‍රී රාම රාජ්‍යම් සඳහා ඇයට නාන්දි සම්මාන උළෙල හී දී හොඳම නිළියට හිමි සම්මානය ද, ෆිල්ම් එයාර් සම්මාන උළෙලේ දී හොඳම තෙළිඟු නිළියට හිමි සම්මනය ද හිමි විය. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටය ඇයට වඩා වැදගත් වන්නේ එය මෙතෙක් ඇයට වැඩිම සම්මාන ප්‍රමාණයක් ගෙන දුන් චිත්‍රපටය නිසා ය. මෙම චිත්‍රපටය සමග ඇය යම් කාලයක් සිනමාවෙන් ඈත් වී සිටියා ය. ඒ ඇයගේ විවාහය සම්න්ධ ව සිදු වූ ගැටළු නිසා ය.

නැවත පැමිණීම සහ සිනමාව තුළ ඇයගේ තත්ත්වය (2012 – වර්තමානය)

නයන්තාරාගේ නැවත ආගමනය සිදු වූයේ මාස 11ට පසුව ක්‍රිෂ්ගේ “ක්‍රිෂ්නම් වන්දේ ජගද්ගුරුම්” (2012) නම් චිත්‍රපටය ඔස්සේ ය. එහි ඇය පත්‍රකලාවේදිනියකගේ චරිතයක් රඟපෑවා ය. 2013 වසරේ ඇය අට්ලීගේ “රාජා රාණි” චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර ඒ සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් උළෙල හා විජෙයි සම්මාන උළෙලහී දී හොඳම නිළියට හිමි සම්මාන හිමි විය. 2013 වසරේ තිරගත වූ විශ්නුවර්ධන්ගේ “ආරම්භම්” චිත්‍රපටයේ හා රාජා රාණි චිත්‍රපටයේ නයන්තාරාගේ රංගනය පිළිබඳ ව විචාරකයන්ගේ ප්‍රශංසාත්මක ප්‍රතිචාර ලැබිණි. මෙම චිත්‍රපට දෙක ම වාණිජ වශයෙන් අති සාර්ථක වූ අතර 2013 වසරේ ඉහළ ආදායම් ලාභී දමිළ චිත්‍රපට අතරට ද එක් විය.

ප්‍රධාන නිළියක් ලෙස නැගී ආ නයන්තාරා, දකුණු ඉන්දීය සිනමාවේ දුර්ලභ ව පැවති චිත්‍රපට ගණයක් වන කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙසට යොමු වූවා ය. ඒ හින්දි චිත්‍රපටයක් වූ “කහානී” චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස ගොඩනැගුණු ශේඛර් කම්මුලාගේ ද්වීභාෂික චිත්‍රපටය වූ “අනාමිකා” හී තම නැති වූ ස්වාමිපුරුෂයා සොයා හයිද්‍රාබාද් වෙත පැමිණෙන තරුණියකගේ චරිතයට පණ පොවමිනි. ඇයගේ මීළඟ කාන්තා-කේන්ද්‍රිත සංත්‍රාස චිත්‍රපටය වන “මායා” චිත්‍රපටය ද ආදායම් අතින් සාර්ථක විය. මෙම චිත්‍රපට දෙක ද විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් විය.

නැවතත් නයන්තාරා ක්‍රියාදාම හා ප්‍රහසන චිත්‍රපට දෙසට හැරුණා ය. ඒ 2015 වසරේ තිරගත වූ “බාස්කර් ද රාස්කල්” හා “තනි ඔරුවන්” චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමිනි. ඉක්බිතිව ඇය විග්නේෂ් ශිවන්ගේ කළු ප්‍රහසන චිත්‍රපටය වන “නානුම් රෞඩො දාන්” චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. ඒ බිහිරි තරුණියකගේ චරිතයක් රඟ දක්වමිනි. එම චිත්‍රපටයේ රංගනය ඇයට ඇයගේ දෙවන ෆිල්ම් ෆෙයාර් හොඳම දමිළ නිළියට හිමි සම්මානය ගෙන දීමට සමත් විය.

2016 වසරේ දී ඇය “පුදිය නියාමම්” නම් මලයාලම් චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. එම චිත්‍රපටය සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් හොඳම මලයාලම් නිළියට හිමි සම්මානය ලැබුණු අතර එය ඇයගේ මලයාලම් චිත්‍රපටයකට හිමි වූ පළමු සම්මානයයි. අනතුරුව ඇය “තිරුනාල්” චිත්‍රපටය තුළින් ග්‍රාමීය පාසලක ගුරුතුමියකගේ චරිතයට ද, ආදායම් අතින් අතිසාර්ථක වූ “ඉරු මුගන්” චිත්‍රපටය තුළ ද, “කාශ්මෝරා” චිත්‍රපටය තුළ ෆැන්ටසි රාජධානියක රැජිණකගේ චරිතයට ද රංගනයෙන් දායක වූවා ය. නයන්තාරා 2017 වසරේ දී කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා ය. ඒ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයක් වන “ඩෝරා” චිත්‍රපටයට හා සමාජීය දෘෂ්‍යකාව්‍යක් වන “අරම්” චිත්‍රපටයටයි. අරම් චිත්‍රපටය සඳහා නයන්තාරාට නැවතත් ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය හිමි විය.

2018 වසරේ දී ඇය විසින් නැවතත් කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකක් රඟ දැක්වූවා ය. ඒ නෙල්සන් දිලීප්කුමාර්ගේ කළු ප්‍රහසන චිත්‍රපටයක් වන “කෝලමාවු කෝකිලා” හා Crime thriller චිත්‍රපටයක් වන “ඉමෛක්කා නොඩිගල්” යන චිත්‍රපට ද්විත්වයෙයි. 2019 වසරේ ඇය විසින් රඟපෑ “විස්වාසම්”, “අයිරා” හා “මිස්ටර් ලෝකල්” යන චිත්‍රපට තිරගත වී ඇත. ඇයගේ “කොලෛයුදීර් කාලම්” චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. එමෙන් ම නයන්තාරාගේ “ස්‍යේ රා නරසිම්හා රෙඩ්ඩි”, “බිගිල්”, හා “දර්බාර්” නම් චිත්‍රපට රූගත කෙරෙමින් පවතී.

© Nethmi Parindya Ranathunga
2019 June 25
Source – නයන්තාරා විකිපීඩියා පිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *