Super Deluxe Sinhala Review | ලෝකය තනි යායක්

The 10th edition of the Indian Film Festival of Melbourne උත්සවයේදී විජේ සේදුපති හට ඔහු විසින් Super Deluxe චිත්‍රපටයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවා උදෙසා පිරිනැමෙන සම්මානය ලැබී තිබෙනවා. Super Deluxe වෙනුවෙන් මේ සටහන තැබෙන්නේ එය නිමිති කරගෙනයි.


ලෝකයේ එක එක කාලෙට එක එක විදියෙ ප්‍රවනතා ඇතිවෙනවා. සිනමා ලෝකෙත් එහෙම තමයි. මම හිතන විදියට දැන් තමිල්නාඩු සිනමා කර්මාන්තය එක්තරා විදියෙ සන්ධිස්ථානයකට ඇවිල්ලා තියනවා.
කපන, කොටන, මරණ, උඩින් විසිවෙලා යන්න ගහන දර්ශන නැති ආදරය සහ විරහ වේදනාව වගේ ප්‍රේක්ෂකයාට ඉතා හොඳින් අවශෝෂණය වෙන මාතෘකා නැති, ලොකුවට සංගීතය නැති, විහිළු සහ විකටයෝ නැති අමුතුම විදියෙ චිත්‍රපටි එක දෙක බිහි වෙනවා. එහෙම තිබිලත් මිනිස්සු ඒවා බලන්න ෆිල්ම් හෝල් වලටත් යනවා. තමිල්නාඩුවේ සිනමා රසිකයින්ගෙ පැත්තෙන් ගත්තත් කවුරුහරි එක්කෙනෙක් අල්ලගෙන මිනීමරා ගන්න අඳ බාලයෝ වෙනුවට මධ්‍යස්ථ මතධාරීන් පිරිස, ඇහෙන් වගේම මොළෙනුත් බලන්න පුලුවන් පිරිස ටික ටික වැඩි වෙනවා වගේ.

Super Deluxe බලලා ඉවර වෙලා අඬනවද හිනාවෙනවද කියලා හිතාගන්න බැරි චිත්‍රපටයක්. කතා කිහිපයක එකතුවක් විදියට පටන් අරගෙන අන්තිමේට ඔක්කොම එකක් විදියට ඉවර වෙනවා. හරියට නිකන් ගංගා,යමුනා, අචිරවතී වගේ මහා ගංගා ගලාගෙන ඇවිල්ලා මුහුදට එකතු වුනාම ඒ ඔක්කොම එකක් වෙනවා වගේ. මුල මැද අග හොයාගන්න නම් මුල ඉඳන් අවසාන වෙනකන්ම බලන්න වෙනවා. ඒ කතා එකතුව අවසානයේ දැනෙන්නේ හරියට නිකන් උස්සලා පොලවෙ ගැහුවා වගේ හැඟීමක්.

අලුත විවාපත් වුනු වෙම්බු සහ මුගීල් තමන්ගේ ගෙදර ඇතුලේ මියගිය තැනැත්තෙක්ගේ මෘත ශරීරයක් නිසා මිණීමැරුම් චෝදනාවෙන් ගැළවෙන්න දරන උත්සාහය සහ ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න හදන පොලිස් නිලධාරියෙක්; මතුපිටින් හාස්‍යජනකයි. නමුත් යටි පෙළින් ධ්වනිත වන අර්ථය විස්මයජනකයි.

මාණික්‍යම් විදියට ගෙදරින් පිටත් වෙලා ගියපු ගයාත්‍රීගේ ස්වාමියා අවුරුදු ගානකට පස්සේ ශිල්පා විදියට රූපාවතරණය වෙලා නැවත ගෙදරට එනවා. වසර ගානකට පස්සේ ගෙදර එන මාණික්‍යම් පිළිගන්න රොක්වෙලා හිටපු නෑදෑයෝ දැඩි ලෙස අමනාපයට පත්වෙනවා. ඒත් මාණික්‍යම්ගෙත් ගයාත්‍රීගෙත් පොඩි එකා රාසුකුට්ටි තාත්තාව ඉතාම උණුසුමින් පිළිගන්නවා. ඒ වගේම අවසානයේදී මාණික්‍යම් උනත් ශිල්පා උනත් ඒ තමන්ගේ සැමියා කියලා හිත හදාගන්න ගයාත්‍රීටත් පුලුවන්කම ලැබෙනවා. විය හැකි උපරිම මට්ටමෙන් මානුෂීය සිදුවීමක්; සමාජයේ උගත් යැයි සම්මත බමුණු කුලවාදීන්ගේ ඇතැම් නිහීන අදහස් වලට හීනියට පහරක් එල්ල කරන සිදුවීමක්.

තරුණ වියේ එලිපත්තේ ඉන්න කොල්ලෝ කීපදෙනෙක් වැඩිහිටියන් සඳහා වූ ච්ත්‍රපටයක් නරඹන්න පටන් ගන්නවා. නමුත් එහි රඟපාන්නේ එතන ඉන්න මෝහන්ගේ අම්මා. මිතුරන් ඉදිරියේ තමන්ට වුනු අවමානය ගැනත් එයට හේතු වුනු අම්මා ගැනත් මෝහන්ට ඇතිවෙන්නේ බරපතල කෝපයක් සහ කම්පනයක්. ඔහු තමන්ගේ මව සොයාගෙන යන අවස්ථාවේ ඇතිවන අනතුරකින් බරපතල විදියට තුවාල ලබනවා. අවසානයේදී ඔහු වෙනුවෙන් ඉතිරි වන්නේත් අම්මා පමණයි.

එක දවසක් ඇතුලත් සිද්ද වෙන සිද්ධි කිහිපයක එකතුවක් වන මේ චිත්‍රපටිය ඇතුලෙ හරි වැදගත් කතා ටිකක් කියනවා. ඇත්තටම දෙබස් රචනයට නම් වෙනම සම්මානයක් ලැබෙන්න ඕනෙ. එක තැනකදි මේකෙ ඉන්න පොඩි කොලුපැටියා කියනවා “ගෑණියෙක් විදියට හරි පිරිමියෙක් විදියට හරි කමක් නෑ, මට ඕනෙ තාත්තව විතරයි” කියලා. තව තැනක එක වියපත් කාන්තාවක් කියනවා “සාධාරණයයි සම්ප්‍රදායයි කියන්නෙ පාරවල් දෙකක්” කියලා.

විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෝ නිසා ඒ පුද්ගලයින්ටත් එයාලගෙ පවුල් වල අයටත් විඳින්න වෙන කරදර හිරිහැර ගැන හරිම සානුකම්පිත විදියට කතා කරලා තියනවා.
කවුරුත් බොහොම ආසාවෙන් තළු මරලා බලන නිල් චිත්‍රපටි සහ වීඩියෝ දර්ශන වල රඟපාන නළුනිලියො ගැන හොඳ ධනාත්මක සහ ප්‍රගතශීලී ප්‍රකාශනයක් තියනවා. විශේෂයෙන්ම දමිල චිත්‍රපටියකින් බලාපොරොත්තු වියනොහැකි ආකාරයේ ප්‍රකාශයක්.
“ඒක තවත් එක ජීවනෝපාය මාර්ගයක් විතරයි. ගෑණියෙක් එහෙම චිත්‍රපටියක රඟපෑවා කියලා ඒකෙන් ඒ ගෑණි මුලු ජීවිත කාලය පුරාම හැම මොහොතකම එහෙමයි කියන දේ අදහස් වෙන්නෙ නෑ. එයාටත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න, විවාහ වෙන්න, දරුවො ලබන්න සහ ගරුත්වයකින් යුතුව ජීවත් වෙන්න අයිතිය තියනවා”. ඇත්ත. හරියටම හරි. හැබැයි අවාසනාවකට වගේ අපේ වගේ රටවල් වල එහෙම වාසනාවක් නෑ කාන්තාවකට ජීවිතය එක්වරක් වැරදුනොත් වැරදුනාම තමයි. යළි නිවැරදි කිරීමකට ඉඩක් සමාජය විසින් ලබා දෙන්නේ නැහැ. තිරයේ පේන්න ඉන්න කෙනා වෛශ්‍යාවක් වෙනවනම් තිරය ඉස්සරහ ඉඳගෙන ඒවා බලාගෙන ඉන්න අයට කියන්න ඕ⁣න නම ගැන නැවත සිතා බැලිය යුතුයි.

තමන්ගෙ බිරිඳ තමන්⁣ගෙ ගෙදර තමන්ගෙ කාමරේ ඇතුලෙ වෙන පුද්ගලයෙක් එක්ක එකට ඉඳලා තියනවා. ඒක තමන්ගෙ බිරිඳගෙ කටින්ම අහනකොට පිරිමියෙකුට මොකද්ද කරන්න පුලුවන්? ගහලා එළවන එකද? දික්කසාද කරන එකද? නැත්තන් ඒ දෙකම නැතුව වෙන පාරක් තියනවද? කවුරුහරි කියයි ඕවා ඒවා වෙන්නෙ චිත්‍රපටි වල විතරයි කියලා. එහෙම වෙලා තියෙන්නෙ හැමෝම ඒ ඇහෙන් බලලා මේ ඇහෙන් ඒක එලියට දාන නිසා. කිසිම කෙනෙක් තමන්ගෙ ජීවිතේට අලුතෙන් දෙයක් එකතු කරගන්න හිතන්නෙ නැති නිසා.

මේ චිත්‍රපටිය තුල මට දැනුන විදියට ප්‍රධාන කරුණු කීපයක් මතු කරන්න හදලා තියනවා.
1. ගැහැණියක් හෝ පිරිමියෙක් විදියට මේ ලෝකෙට බිහි කරවන එක දෙවියන්ගේ වැඩක්. නමුත් ඒ තත්වය මුළු ජීවිත කාලය පුරාම පවත්වාගෙන යනවද නැද්ද කියන එන තම තමන්ගෙ වැඩක්. මේ ලෝකෙ සම්ප්‍රදාය සහ සමාජ සාධාරණ කියන්නෙ සමාන්තර පීලි දෙකක්. කවදාවත් සමපාත වීමක් හෝ එකතු වීමක් නැහැ. සම්ප්‍රදායට පයින් ගහනවා නම් අසාධාරණයට මූණ දෙන්න ශක්තියක් තියෙන්න ඕනෙ. ඒ වගේම අපිට වඩා වෙනස් කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න, කොන් කරන්න, ගැරහීමට ලක් කරන්න අපිට කිසිම අයිතියක් නෑ. ඒක මනුශ්‍යත්වයටත් කරන අවමානයක්. සියලු දෙනාටම නිදහස් මිනිස්සු විදියට ජීවත් වෙන්න සමාන අයිතියක් තියනවා. අපි එකිනෙකාගේ එ් අයිතියට ගරු කල යුතුමයි.

2. හොඳ ගෑණුයි නරක ගෑණුයි එහෙම නැත්තන් හොඳ අම්මලයි නරක අම්මලයි කියලා වර්ග දෙකක් නෑ. ඕනෙම හොඳ කෙනෙක ඇතුලෙ නරක කෙනෙකුත් ඉන්නවා. පිරිමින්ටත් ඒක අදාලයි.

3. දෙන්නෙක් කසාද බැන්දනම් වැදගත්ම දේ තමයි මොන තත්වයක් යටතේ වුනත් ඒ ජීවිතය පවත්වාගෙන යන එක. මානික්‍යම් නොහොත් ශිල්පා සමග ගයාත්‍රීත් මුගිල් සමග වෙම්බුත් එකට එකතුවෙලා කියන්නෙ ඒ කතාව.

Super Deluxe කියන්නෙ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියක්!!!!!
” All the world’s a stage, and all the men and women merely players: they have their exits and their entrances; and one man in his time plays many parts, his acts being seven ages.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *