Home / Featured / Snowpiercer 2013 Review in Sinhala

Snowpiercer 2013 Review in Sinhala

ලෝක ප්‍රසිද්ධ වීර චරිතය #Captain_America ‍ට පණ පෙවූ සුප්‍රසිද්ධ නළු Chris Evans සහ මෙවර ඔස්කා සම්මානයට පාත්‍ර වූ #Parasaite ‍‍සිනමා පටයෙහි පියාගේ චරිතයට පණ පෙවූ Song Kang-Ho විසින් රංගනයෙන් දායක වූ 2013 වර්ෂයේ තිර ගත වීම ආරම්භ කළ ඉතාම අනර්ඝ සිනමා නිර්මාණයක් වන #Snowpiercer ගැනයි මේ සටහන.

Snowpiercer: first look review - something of absurdist theatre ...

.
මෙය අනාගතයේ දී සිදුවිය හැකි විද්‍යා ප්‍රබන්ධයක්.‍‍ නමුත් මෙහි ඊට එහා ගිය සමාජ දේශපාලනික කථිකාවතක් තිබෙනවා. එනිසයි මා එය ඔබත් සමඟ බෙදා ගත යුතුයැයි සිතන්නේ.

.
වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන පාරිසරික ගැටළුව වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. එය පාලනය කිරීමට විද්‍යාඥයන් ප්‍රතිකර්ම සොයන්නේ වසර ගණනාවක සිට බව අප දනිමු. මෙම සිනමා පටය ආරම්භ වන්නේ එවන් පර්යේෂණයකින් සොයාගත් CW-7 නම් සිසිලනකාරක රසායන ද්‍රව්‍යයක් ලෝකයේ රටවල් 79ක් විසින් එකවර ‍‍‍‍‍වායුගෝලයට මුදා හැරීම නිසා එහි උෂ්ණත්වය නොසිතූ ලෙස පහත වැටී පෘතුවිය අධික සීතලකට ගොදුරු වී හිමෙන් වැසී යාමත් සමඟයි. එහිදී ලෝකයේ සියළුම ජීවීන් විනාශ වී යයි.

නමුත් එක්තරා සුවිශේෂී දුම්රියක් සහ එහි ගමන් ගන්නා මඟීන් පමණක් ඉන් දිවි ගලවා ගනී. ඔවුන් ලෝකයේ අවසාන ජීවය රැඳි කොටස බවට පත් වෙයි.

.
මා පෙර සඳහන් කළ පරිදිම මෙය සුවිශේෂී දුම්රියකි. එහි දුම්රිය මාර්ගය මුළු පෘතුවිය වටාම යන ආකාරයට නිර්මාණය කොට ඇත. එය වසරක් (දින 365 ක්) තුළදී ලොව වටා සම්පූර්ණ වටයක් ගමන් කරයි. මෙම දුම්රිය පූර්ණ ලෙසම ස්වයංපෝෂිත පරිසර පද්ධතියකි. එතුළම ආහාර නිෂ්පාදනය කිරීම සහ අයිස් පිරිසිදු කොට ජලය ලබාගැනීම සිදුවෙයි.

මෙම සුවිශේෂී සුඛෝපභෝගී දුම්රියට ලෝකය විනාශ වන මොහොතේ මඟීන් නංවා ගෙන ඇත. ඉන් වසර 17කට පසුව එහි සිදුවන සිදුවීම් සමුදායක් තමයි මෙම සිනමා පටය පුරා දිවෙන්නේ.

දුම්රිය මැදිරි විශාල ගණනාවකින් යුත් මෙම දුම්රිය තුළ ද මිනිසාව අද සමාජයේ මෙන්ම සමාජ පංතීන්ට බෙදා වෙන්කර තිබෙනු දැකිය හැකියි. දුම්රියේ පිටුපස සිට ඉදිරියට යන විට ක්‍රමක්‍රමයෙන් අඩු පහසුකම් වල සිට අධි සුඛෝපභෝගී තත්වයක් ‍‍‍දක්වා දුම්රිය මැදිරි වෙනස් වේ. පිටුපසම සිටිනුයේ ඉතාම අසරණ දුක්විඳින මිනිස් කොට්ඨාසයයි.

.
ඒ වගේම මෙහි තවත් දැකිය හැකි සුවිශේෂී දෙයක් තමයි ආරක්ෂක අංශය සහ පාසැල් අධ්‍යාපනය සකස් වී ඇති ආකාරය. ඔව් මෙම දුම්රිය හමුදාවකින් සහ පාසලකින් සමන්විතයි.‍ දුම්රියෙහි අධ්‍යාපනය හිමිවී තිබෙන්නේ ඉදිරි මැදිරිවල දරුවන්ට පමණි.‍ එම අධ්‍යාපනය පාදක වී තිබෙන්නේත් දුම්රියේ නිර්මාතෘ ඇතුළු ඉදිරි මැදිරිවල ‍අවශ්‍යතා සපුරාලීම උදෙසායි. සැබෑ ලෝකයේ ද අප ඉගෙන ගන්නා අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අප ‍‍‍ප්‍රශ්න නැගූවත් එහි යථාර්තය වන්නේ ද මේ ධර්මතාවය නොවන්නේද?‍

ඒ වගේම එහි ආරක්ෂක අංශය ඉදිරි මැදිරිවල මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තම දිවි පරදුවට තබා පිටුපස මැදිරිවල මිනිසුන්ට විරුද්ධව බලය පතුරුවන ආකාරය උපහාසාත්මකය. ‍

.
කෙසේ හෝ පිටුපස මැදිරිවල පිරිස දුම්රියේ ඉදිරියට ගමන් කොට පවතින දුක්ඛිත ජීවිතයෙන් මිදීමට තැත් කරයි. එයට නායකත්වය ලබා දෙන්නේ “කර්ටිස් එවරෙට්” නොහොත් සැබෑ ජීවිතයේ Chris Evans ය. ඔහු සැලසුම්සහගත, උපක්‍රමශීලී, එඩිතර සටනක නියැලෙයි.

මෙහි අවසාන කොටසේ දුම්රියේ නිර්මාතෘ විල්ෆ්‍රඩ් කියනවා
” කර්ටිස්, හැමෝන්ටම එයාලට කලින් නියම උන තැන් තියෙනවා. ඔයා හැරෙන්න අනිත් හැමෝම තමන්ගේ තැන්වල ඉන්නවා.”

එවිට කර්ටිස් කියනවා,
“හොඳ තැන්වල ඉන්න අය, නරක තැන්වල ඉන්න අයට කියන්නේ ඔහොම තමයි.”

.
එහිදී සැබෑ සටනකදී තමාට යම් විශාල කැපකිරීම් සිදුකිරීමට සිදුවන බව කර්ටිස් වටහා ගන්නා ආකාරය ඉතාම සංවේදී දසුන් (ඔහුගේ සඟයාගේ ජීවිතය බේරීමට ආපසු නොහැරෙන අවස්ථාව වැනි දසුන්) හරහා පෙන්වා දෙයි. ඒ වගේම සටන අතරතුර ඔහු සැබෑ නායකයෙකු ලෙස වෙනස් වන්නේ කෙසේ දැයි මෙම සිනමා නිර්මාණය පෙන්වා දෙන ආකාරය අපූරුය.‍ ඔහු එක තැනක අහනවා,

“මට ශක්තිමත් අත් දෙකක් තිබුණා කියලා
මම කොහොමද හොඳ නායකයෙක් වෙන්නේ? “

.
ඔයාකාරයෙන් දිවෙන මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ මා සිත් ගත්තේ කර්ටිස් ඔහු ගැන මින්සූ (Song Kang-Ho) ඉදිරියේ කරනා පාපෝච්චාරණයේ තිබූ දෙබස් පෙළයි. ඉන් කොටසක් ඔබ සමඟින් මෙසේ බෙදා ගැනීමට සිතමි.

………………………………………………………………………………………

මින් සූ :
තමුසේ කෘතඥ වෙන්න ඕනේ.
ඕක තමයි ලෝකේ අන්තිම සිගරට් එක.

.
කර්ටිස් :
තමුසේ කවදාහරි පිටිපස්ස කොටසට ගිහින් තියෙනවද?
පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා නිකං අදහසක්වත් තියෙනවද?

අපිව නග්ග ගත්තම ලොකු කලබලයක් උනා.
ඔව්, අපි ගල් ගැහිල් මැරුනේ නෑ තමයි.
ඒත් අපිට ස්තූති කරන්න වෙලාවක් තිබුනේ නෑ.
විල්ෆ්‍රඩ්ගේ සෙබළු ඇවිල්ලා තිබ්බ සේරම දේවල් අරන් ගියා.

මිනිස්සු දහස් ගාණක් යකඩ පෙට්ටියක් ඇතුළේ හිටියා. කෑම නෑ. වතුර නෑ.
මාසෙකට පස්සේ අපි දුර්වල අයව කෑවා.

ඔයා දන්නවද මම මටම වෛර කරන්නේ ඇයි කියලා?
මම දන්නව මිනිස්සුන්ගේ රස මොන වගේද කියලා.
මම දන්නවා බබාලා තමයි ගොඩක් රස කියලා.

එහෙ එක ගෑණියෙක් හිටියා. එයා එයාගේ බබාව හංගගෙන හිටියේ.
පිහි අරගෙන මිනිස්සු වගයක් ආවා. උන් එයාව මරලා එයාගේ බබාව ගත්තා.

ඊටපස්සේ වයසක මිනිහෙක්.. කිසිම සම්බන්දයක් නැති වයසක මිනිහෙක්.. නිකම්ම වයසක මිනිහෙක්, ඉස්සරහට ඇවිත් කිව්වා..
“මට පිහිය දෙන්න” කියලා.
හැමෝම හිතුවේ එයා බබාව මරන්නයි යන්නේ කියලා.
ඒත් එයා පිහිය අරන්..එයාගෙම අත කපලා දැම්මා. ඒ කරලා එයා කිව්වා, “මේක කන්න” කියලා.
“ඔයාලට එච්චරට බඩගිනි නම්..”
“මේක කන්න. බබාව අතාරින්න” කියලා.

ඒ වගේ දෙයක් මම කවදාවත්ම දැකලා නෑ.
ඊට පස්සේ ඒ මිනිස්සු එයාලගේ පිහි බිමට දැම්මා.
ඊට පස්සේ පිටිපස්සේ අනිත් අය පටන් ගත්තා ඒ අයගේ අත් කකුල් කපලා දෙන්න.

ඒක හරියට හාස්කමක් වගේ..

………………………………………………………………………………………

ඒ කොටස ටිකක් දිගයි තමයි. නමුත් එහි කියැවෙන කතාව ඔබ ඇසිය යුතුම එකක් යැයි මා විස්වාස කරනා නිසා මෙහි සඳහන් කළෙමි.

Jacques Lob විසින් රචිත Le Transperceneige නම් ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලාවක් පාදක කරගනිමින් නිර්මාණය කොට ඇති මෙම සිනමා පටයෙහි අධ්‍යක්ෂණය ‍Bong Joon-Ho විසින් සිදුකර ඇත. Chris Evans ගේ සහ Song Kang-Ho ගේ රංගන ප්‍රතිභාව පිළිබඳව මා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවෙයි.

ඒ වගේම IMDb දර්ශකයේ 7.1ක අගයක් ගැනීමටත් Rotten Tomatoesහි 95%ක වැඩිම ප්‍රතිශතයක් ගැනීමටත් 85%ක ගූගල් භාවිතා කරන්නන්ගේ මනාපය ලබා ගැනීමටත් මෙම දැවැන්ත සිනමා සිත්තම සමත් විය.‍

ස්තූතියි.

 

සටහන : යොෂාන් මධුසංක

අපි බැලු චිත්‍රපටිහි ලිපිය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *