Raatchasi(2019) Sinhala Review | “මගේ නම ගීතා රාණි”

මේ ලෝකයට ජීවය ලැබෙන්නේ මවගේ කිරි වලිනුත් හිරුගේ රැස් වලිනුත් බව පැවසුවේ රුසියානු මහා ගත්කතුවර මක්සිම් ගෝර්කි ය. මවගේ කිරි සහ හිරුගේ රැස් වලට පසුව මේ ලෝකයට ජීවය ලබා දෙන්නේ ගුරුවරු බව පැවසුවහොත් මම නිවැරදියැයි සිතමි.

Raatchasi හි කතාව ගෙතෙන්නේ රජයේ පාසලකට අලුතෙන් පත්වීම් ලබා පැමිණෙන හෙඩ් මාස්ටර්වරියක් වන ගීතා රාණි වටාය. ඇය පැමිණෙන අවස්ථාව වනවිට පාසලක් පවතින්නේ නමට පමණි. ළමයි ළමයින්ට රිසි සේය. ගුරුවරු ගුරුවරුන්ට රිසි සේය. පාසලේ කඩා වැටුනු තාප්පය මත හිඳිමින් කොල්ලෝ සිගරට් බොති. දෙපිල බෙදී ගුටි කෙළ ගනිති. ගුරුවරු ඉගැන්වීම හැර අන් සියල්ලම කරති; සින්දු අසති; ඕපාදූප කියවති. සහකාර හෙඩ් මාස්ටර්වරයා අනංගයෙකි. ඔහුට පාසල තබා තමාවවත් පාලනය කරගත නොහැක. දෙමාපියන්ට පාසලක් පවතීද නැතිද පිලිබඳව වගේ වගක් නැත.

ගීතා රාණි විසින් මෙම සියලු අභියෝග වලටත් විශේෂයෙන්ම පුද්ගලික පාසල් හිමිකරුවෙක් වන රාමලින්ගම් විසින් ඇති කරවන ගැටලු වලටත් සාර්ථකව මුහුණ දෙමින් වල් වැදුනු භූමියක් නැවතත් පාසලක් බවට පත්කරන අයුරු Raatchasi තුළින් අපූරුවට සිතුවම් කර තිබෙයි.

ගීතා රාණි ලෙස රංගනයෙන් දායක වන්නේ ජෝතිකා ය. 2017 වසරේ ඇය රඟපෑ Magalir Maatum සහ 2018 වසරේ රඟපෑ Kaatrin Mozhi චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි ගීතා රාණි ලෙස ඇය රඟ දක්වන්නේ. සාමාන්‍යයෙන් පිරිමි වීරයෙක් සිටින චිත්‍රපටයක තනිවම මැරයන් සමඟ සටන් කිරීම, සමාජයට පණිවිඩයක් ලබා දෙන ප්‍රකාශ ආදී  ඔහු විසින් කරනු කියනු ලබන බොහෝ දෑ මෙහිදී ජෝතිකා විසින්ද සිදුකරනු ලබයි. නමුත් ඒ ඇයටම ආවේණික හුරුබුහුටි ගතියකිනි.

බෝතලයක් බිඳදමා එහි ඉතිරිවන උල් කොටසින් පහරදීම සියලුම නළුවන් සිදු කරන්නේ ඒකාකාරි රටාවකිනි. නමුත්  ජෝතිකා එය සිදුකරන්නේ ඇයටම ආවේණික රටාවකිනි. මෙම චිත්‍රපට තුළ ජෝතිකාගේ රංගනය ඉතා ඉහල මට්ටමක තිබෙයි. හැඟීම් ප්‍රකාශනය, ඉරියව් සහ දෙබස් ප්‍රකාශනය පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ ඇය උපරිම අයුරින් චරිතය තුළට ප්‍රවිශ්ඨවී ඇති බවකි.

Sy. Gowthamraj විසින් රචනා කොට ඇති Raatchasi චිත්‍රපටය නොමඳ විචාරක සහ ප්‍රේක්ශක ආකර්ශනයක් දිනා ගැනීමට සමත්වී ඇත.  චිත්‍රපටයේ  පිටපතේ අතරින් පතර සුලු සුලු අඩුලුහුඬුකම් තිබුනේ වුවද සියලුම නළු නිලියන් විසින් රංගනයෙන් දක්වා ඇති දක්ෂතාවය නිසා එම අඩුපාඩු පිළිබඳව එතරම් සැලකිල්ලක් යොමු කල යුතු නැත. සංගීත නිර්මාණයද සාර්ථකය.

ගුරුවරයෙක් නම් මේ අයුරින් විය යුතුය යන්නට Raatchasi උදාහරණ සපයයි. අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්විය යුතු බව පෙන්වා දෙයි. මෘදු විය යුතු තැන මෘදුවත් රළු විය යුතු තැන රළු ලෙසත් ක්‍රියා කලයුතු බව පෙන්වා දෙයි. ගුරුවරු සහ සිසුන් අතර ඇති විය යුත්තේ ගුරු-ගෝල සබැඳියාවක් නොව මාපිය දූදරු සබඳතාවක් බව තහවුරු කරයි. පාසල් ගිය සියල්ලෝම නැරඹිය යුතු සලරුවකි Raatchasi. අවසාන වශයෙන් ගුරුවරයා යනු සමස්ත සමාජයටම ධනාත්මක බලපෑමක් සිදුකළ හැකි පුද්ගලයෙක් බව මෙමඟින් තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *