Oru Kuttanadan Blog Movie Review in Sinhala| කුට්ටනාදනුවාගේ සටහන්

           කුට්ටනාදනුවාගේ සටහන්

සුන්දර කේරළයේ රමණීය කුට්ටනාද් ප්‍රදේශය පසුබිම් කරගනිමින් 2018 වසරේ නිර්මාණය වුනු oru kuttanadan blog සිනමාපටය සේතු නම් තරුණ අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

‘කේරළයේ සහල් නැලිය'(“The Rice Bowl of Kerala”) නම් විරුදාවලියෙන්ද හඳුන්වන කුට්ටනාද් යනු Vembanad ජලාශයෙන් සහ pampa නදියෙන් පෝෂණය වන ඉතා සශ්‍රීක ප්‍රදේශයකි.

Kuttanad

අනන්තය තෙක් පැතිරුණු කුඹුරු යායවල්, පොල්වතු සහ බෝට්ටු මගින් සිදුකරනු ලබන ප්‍රවාහන සේවය කුට්ටනාද්හි සුලබ දසුනක්.
මෙහි ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් වාසය කරනු ලබනවා. වර්තමානය වන විට හින්දු සහ ක්‍රිස්තියානි භක්තිකයින් බහුතරයක් සිටියද කුට්ටනාද් යනු අතීතයේ බෞද්ධ ආගමික මූලස්ථානයක්ව පැවතුනු ප්‍රදේශයක්. සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ සංස්කෘතික දායාද තවමත් එලෙසින්ම පවත්වාගෙන යෑමට කුට්ටනාද් වැසියන් උත්සුකවී තිබෙනවා.

කුට්ටනාද් ප්‍රදේශයේ ඇති ක්‍රිෂ්ණපුරම් නම් කුඩා ග්‍රාමයක් පසුබිම්ව ලියැවෙන oru kuttanadan blogහි කතානායකයා වන්නේ ‘හරී’ නම් මැදිවියේ පසුවන, කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ඔහු ඉතා දිගු කලක් විදේශයක වාසය කිරීමෙන් අනතුරුව තම පියා සමග ජීවත් වීමේ අරමුණෙන් නැවතත් තම නිවසට පැමිණෙයි. හරී ප්‍රදේශයේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු පෙනුමෙන්, හැසිරීමෙන් මෙන්ම ගති පැවතුම් අතින්ද තරුණයෙකි. ඔහු කතා කරන්නේත් කොල්ලන්ගේ බාසාවමය. එනිසා වයස් පරතරය ගැටලුවක් වී නැත.

කොල්ලන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා නොමසුරු දායකත්වය ලබාදෙන්නේ හරී ය. ඔවුන්ගේ ප්‍රේම කතාවල ගැටලු, කෙල්ලන් සම්බන්ධ⁣ ගැටළු ආදිය විසඳීමට හරී ඉදිරිපත් වන්නේ එක පයිනි. එමෙන්ම ඔවුන් සමඟ ඉඳහිටක අඩියක් ගැසීමටද ඔහු නොපැකිලෙයි. එපමණක් නොව එම කාර්යය සඳහා සියලු වැය දරන්නේත් ඔහුම ය. ඉතින් හරී නොහොත් වඩාත් ආදරණීය ලෙස ‘හරිඒට්ටන්’ යනු කොල්ලන් අතර වන්දනාවට පත් පුද්ගලයෙකි. ඔහු මෙන් ඇඳ පැළඳ ගමන්බිමන් යෑම ඔවුන්ට ⁣ඉමහත් ගෞරවයකි.
හරීට අකමැති පුද්ගලයින් පවා උපකාරයක් අවශ්‍ය වුනු විටකදී ඔහුව සොයා පැමිණෙන අතර හරීද ඔවුන්ට උපකාර කරන්නේ හිතේ කිසිදු කහටකින් හෝ නොකැමැත්තකින් තොරව ය.

කොල්ලන් අතර පමණක් නොව ඔහු කාන්තා පක්ෂය අතරද උසුලන්නේ පුදුමයෙන් ඇසිබැම ඉහළට එසවෙන මට්ටමේ ජනප්‍රියතාවයක් සහ ආකර්ශනයකි. හරී ගැන උනන්දුවක් නැති කාන්තාවක් ක්‍රිෂ්ණපුරම්හි සොයා ගැනීම නොමළ ගෙයකින් අබ සෙවීමක් හා සමාන ය.

Mammootty's Oru Kuttanadan Blog

හරීගේ පරම විරුද්ධවාදියා වන පංචායත් සභාවේ සභාපතිවරයාගේ ප්‍රබලම ආධාරකාරිය පවා හරීගේ රසිකාවියකි. එපමණක් නොව ක්‍රිෂ්ණපුරම් පොලීසියට අලුතින් පත්වී පැමිණි රූමත් තරුණ පොලිස් පරීක්ෂකවරියගේ අවධානය පවා ක්‍රමයෙන් හරී දෙසට හැරෙයි.

ඉතා සමීපව ඇසුරුකරන කාන්තාවන් තිදෙනෙකු නිසා හරීගේ ජීවිතයේ සිදුවන හැලහැප්පීම් සමුදායක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරෙන Oru Kuttanadan Blog යනු මෘදු කොමඩියකි. ද්විත්ව අර්ථ සහිත වචන හෝ කිසිදු ඇසැබි දර්ශනයකින් තොර මෙම චිත්‍රපටිය පවුලේ සැමට නැරඹීමට පුලුවන.

හරී ලෙස රංගනයෙන් දායක වන්නේ Mammootty නොහොත් ආදරණීය මම්මූකා විසින් වන අතර අනිකුත් චරිත සඳහාද සාර්ථක නළු නිළියන් රැසක් දායකවී තිබේ.

මෙම චිත්‍රපටියේ ඉතා සුවිශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකොට තිබෙන්නේ මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා බව පැවසිය යුතුමය. කුට්ටනාද්හි ඇති අයස්කාන්ත සොබා සෞන්දර්යය එලෙසින්ම ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට ඔහු සමත් වී ඇත. කේරළයේ ගංගා සහ වැව් ආශ්‍රිතව දැකිය හැකි ඉතා මනරම් පරිසර දර්ශන බොහෝ ප්‍රමාණයක් මෙහි දකින්නට පුලුවන. එම දර්ශනය සමුදාය වඩාත් ඔපමට්ටම් වන්නේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය නිසාවෙනි.
යමෙක් මෙහි කතාවට හෝ රඟපෑමට වශී නොවුනද ඔහු හෝ ඇය මෙහි පෙන්වන පරිසර දර්ශන වලට නම් වශී වනු නොඅනුමානය.

Oru Kuttanadan Blog සිනමාපටයේ කතා ශෛලිය වඩාත් නෑකම් කියන්නේ මලයාලම් සිනමාවේ ස්වර්ණමය යුගයේ, එනම් එක්දහස් නවසිය අනූගණන් වල ප්‍රදර්ශනය වුනු චිත්‍රපට කතා ශෛලියට බව ඇතැම් විචාරකයින්ගේ අදහසවී තිබේ.

ඉතා ප්‍රබල මට්ටමේ රංගනයක් දැකිය නොහැකි වුවද කේරළයටත් එහි සොබා දහමේ විචිත්‍රවත්භාවයටත් ආදරය කරන සියලු දෙනාම අනිවාර්යෙන්ම නැරඹිය යුතුම සිනමාපටයක් ලෙස Oru Kuttanadan Blog හැඳින්විය හැක. වරක් නොව දෙවරක් තුන්වරක් වුවද නැරඹීමට සිතුනහොත් එයද පුදුමයක් නොවේ.

මෙගා ස්ටාර් Mammootty රඟපෑවද ඉතා සුන්දර පරිසර දර්ශන අඩංගු වුවද සුන්දර නිළියන් කිහිපදෙනෙක්ම සිටියද මෙම චිත්‍රපටය ආදායම අතින් මඳක් අසාර්ථක විය. එයට  හේතුව ලෙස සැලකිය හැකි වන්නේ  කේරළයේ මිනිසුන්  Mammoottyගේ චිත්‍රපටියකින් ‘කුට්ටනාද්’ ප්‍රදේශයේ පරිසර දර්ශන බලාපොරොත්තු නොවීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *