Love Action Drama(2019) Review in Sinhala: ‘ඔබට දිවුරා කියන්නම්’

දිනේශන්ට තමන්ගේඇවැස්ස නෑනා ගැන හිතක් පහළ වෙන්නේ පොඩි කාලෙදිමයි. නෑනා පොඩ්ඩත් ලොකු කතාවක් කියලා දිනේශන්ට කැමති වෙනවා. හැබැයි ඒ සතුට ටික කාලයයි. කෙල්ල ඇවිල්ලා කියනවා ‘ලේ නෑයන් අතර විවාහය ආබාධිත දරුවන්ගේ උපතට හේතු වේ. එබැවින් මෙම සම්බන්ධය කන්ටිනිව් කිරීම නිශ්ඵල ක්‍රියාවකි’ කියලා. මේ කතාබහ ඇතිවෙද්දි නෑනයි මස්සිනයි දෙන්නම පොඩි ළමයි. හැබැයි ඒ බ්‍රේක් අප් එකට පින් සිද්ද වෙන්න එදා ඉඳන් දිනේශන් කියන්නේ හොඳ බේබද්දෙක් සහ එක්තරා විදියක පිස්සෙක්. එහෙම වුනාට මිනිහා ඉගනගෙන තියනවා. ඩුබායි ගිහිල්ලා හොඳට සල්ලි එහෙමත් හොයාගෙන ආපහු ඇවිල්ලා ඉන්නේ. තරමක ධනවතෙක්. දිනේශන්ගේ අතිජාත මිත්‍රයා සාගර්. මිනිහා අහන කෙනෙකුට කියන්නේ ‘අයිම් අ ඩොක්ටර්’ කියලා. ඒත් කරන්නේ රස්තියාදු වෙන එක. දිනේශන්ට අම්මා විතරයි ඉන්නේ. තාත්තා කාලෙකට පෙර මියගිහින්.
එක දවසක් එනවා, ඒ දිනේශන්ගේ හදවතට පොලු පාරක් දීපු නෑනා ස්වාතිගේ සරණ මංගලෝත්සවයට කලින් දවස.
දිනේශන් කියන්නේ ඒ කසාදේ සිද්ද වුනොත් එදාට එයාගේ මිනිය ගඟේ පාවෙනවා දකින්න ලැබෙයි කියලා. එහෙම කියලා උදේ ගෙදරින් ගිය මිනිහා රෑ වෙලා ආපහු එනවා. මොකද සාගර් කතා කරලා දිනේශන්ට කියනවා “අපි ස්වාතිට අමතක නොවෙන පාඩමක් උගන්නන ඕන” කියලා. ඉතිං මෙහෙම පාඩමක් උගන්නන ආපු දිනේශන්ගෙ හිත ශෝභා ළඟ නතර වෙනවා. ඇත්තටම කිව්වොත් දිනේශන් ස්වාතිට උගන්නපු පාඩම ඉගනගන්න වුනේ ශෝභාට තමයි. ඒ ගුරු ගෝල සම්බන්දකම ෆෝන් නම්බර්ස් මාරු කරගැනීමකටත් එතනින් එහාට ⁣මැසේජ් කර ගැනීමක් දක්වාත් විස්තීරණය වෙලා අවසානෙදි දිනේශන් ශෝභාව හොයාගෙන චෙන්නායි යන තැනින් කූඨප්‍රාප්තියට එළඹෙනවා.
ශෝභා කියන්නේ ටිකක් එක විදියක කෙනෙක්. කෙල්ලෝ හතරපස් දෙනෙක් ඉන්න ගෲප් එකක් හැඬ්ල් කරන්නේ ශෝභා තමයි. ඒක නිසා ශෝභාට ඉන්නවා වෙනම ලෙවෙල් එකක තරහකාරයෝ දෙන්නෙක්. ඒ තමයි අර ගෲප් එකේ ඉන්න කෙල්ලෝ දෙන්නෙක් කසාද බැඳලා ඉන්න කොල්ලෝ දෙන්නෙක්. එක්කෙනෙක්ට අනුව එයාගේ නෝනා එයාව දාලා ගියේ ශෝභාගේ ඔපීනියන්ස් නිසා. අනිත් කෙනාට අනුව එයාගේ නෝනා එයාට සලකන්නේ නැත්තේ ශෝභාගේ ඔපීනියන්ස් නිසා. මුන් දෙන්නා නිකන් ඉන්නෑ, අටවනවා හොඳ උගුලක් ශෝභාගෙන් පළිගන්න හිතාගෙන.
 දිනේශන් සෑහෙන වතාවක් ශෝභාට දිව්රලා පොරොන්දු වෙනවා බීමත් කම අතාරිනවා කියලා. හැබැයි ඒ ඔක්කෝම කඩවුනු පොරොන්දු. කොහොම හරි කරදර ජරමර ගොඩක් ගෙවාගෙන අවසානෙදි දිනේශන් සහ ශෝභා විවාහ වෙනවා. එතනින් ෆිල්ම් එක ඉවරයි. ඊට පස්සේ ඉතින් අර සුපුරුදු නම් ලැයිස්තු තමයි තියෙන්නෙ.
මේක ශ්‍රීනිවාසන් මහත්තයාගේ පුතාගේ පළවෙනි අධ්‍යක්ෂණය. ඒක නිසා ධ්‍යාන් ශ්‍රීනිවාසන් ගැන මොනවත් කියන්න තාම කල් වැඩියි. සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙ ශාන් රහ්මාන් විසින්. නිවින් පෞලි, නයන්තාරා, අජූ වර්ගීස්, ශ්‍රීනිවාසන් මහත්තයා ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියනවා. අග හරියේ විනීත් ශ්‍රීනිවාසන් එහෙමත් ඉන්නවා. 2017 අවුරුද්දේ ඉඳලාතමයි ධ්‍යාන් මේ කතාව ලියාගෙන ඉඳලා තියෙන්නෙ. නයන්තාරා ස්ක්‍රීන් ප්ලේ එක ගැන අහපු ගමන්ම කැමති වුනාලු. 2018 අවුරුද්දේ මුල ශූටින් පටන්ගන්න තිබුනත් නිවින්ගේ වැඩ කටයුතු ඉවර වෙලා ශූටින් පටන් අරගෙන තියෙන්නෙ 2018 ජූලි මාසේ කියලා කියනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකේ නම් විදියට අරගෙන තියෙන්නෙත් ලොකු ශ්‍රීනිවාසන් මහත්තයා අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටියේ ලීඩ් රෝල්ස් වල නම් දෙකමයි කියලත් කියනවා.
2019 ඕනම් උත්සවට සමගාමීව කේරළයේ පාසල් සහ කොලේජ් වල තිබුනු ඕනම් උත්සව වල තීම් සෝන්ග් එක වුනේ මේ චිත්‍රපටියේ ‘On the floor baby’ සිංදුව. ගොඩක් වීඩියෝ තියනවා ඊට අදාලව. ෆාදර් කෙනෙක් එහෙමත් නටන වීඩියෝ එකක් තියනවා. ඒ සිංදුව එක්තරා විදියක උන්මාදයක් බවට පත්වුනා කේරළයේ තරුණයෝ අතරෙ. ඒක ‘ජිම්ක්කි කමාල්’ සිංදුව නිසා ඇතිවුනු රැල්ලට සමානයි. ඒ සිංදු දෙකම විනීත් ශ්‍රීනිවාසන්ගේ.
ඒ වගේම මේ චිත්‍රපටියේ සියලුම ගීත හරිම ලස්සනයි. හොඳ සංගීත නිර්මාණයක්, හාට් ටචින් ලිරික්ස් එහෙම තියන සිංදු. චිත්‍රපටියේ ජනප්‍රියතාවයට සහ සාර්ථකත්වයට ඒක ගොඩක් බලපාලා තියනා.
ඊළඟට නයන්තාරා හරිම ලස්සනට ඉන්නවා. බොරු කියන්න ඕන නෑනේ, කඩා හැලෙන ලස්සනක් තියෙනවා. නිවින් වුනත් හොඳ පෙනුමයි. නයන්තාරට ගැලපෙන විදියේ පෙනුමක් තියනවා. අජූ වර්ගීස් කියන්නේ ඉතිං මෝහන් ලාල්ගේ ඉඳලා දිලීප් හරහා මලයාලම් සිනමාවේ ඉන්න ආධුනිකම නළුවට වුනත් ගලපන්න පුලුවන් හොඳ සහය නළුවෙක්නේ. නිවින් සහ අජූ වර්ගීස් අතර තියන එ් ගැලපීම චිත්‍රපටියට හොඳ විනෝදාස්වාදයක් එකතු කරලා තියනවා. සමස්තයක් විදියට රඟපෑම හොඳ මට්ටමින් තියනවා. නමුත් ගොඩක් හොඳ නැහැ.
Love Action Drama එකත් එක්ක ඕනම් උත්සවය වෙනුවෙන් රිලීස් වුනා මෝහන් ලාල්ගේ ‘ඉට්ටිමානි; මේඩ් ඉන් චයිනා’ සහ ප්‍රිත්විරාජ්ගේ(මතක විදියට) ‘බ්‍රදර්ස් ඩේ’ චිත්‍රපටි දෙක. ඒ දෙකටම මේ LAD නිසා නොසෑහෙන්න බලපෑමක් වුනා. අසාර්ථක නෙවෙයි, නමුත් ඉක්මනින්ම ෆිල්ම් හෝල් වලින් ගැලවුනා. LAD එකේ තියන ප්‍රේමය නිසා බීමත් වෙන දර්ශන, හිටු කියලා ජෝඩුව රණ්ඩු වෙන එක ඇතුලු තවත් බොහෝ සාධක මේ චිත්‍රපටිය අවුරුදු විසිපහට අඩු තරුණ ජනතාව අතරේ අතිශය ජනප්‍රිය වෙන්න හේතුවක් වුනා කියලා කියවෙනවා. කොහොම නමුත් මේ ඕනම් උත්සවයේදි කේරළය පුරාම Love Action Drama සුළඟ හමාගෙන ගියා දවස් 75 ම.
ඊළඟට පොඩි පොඩි අවුල් දෙක තුනක් තියනවා. පළවෙනිම දේ මේ හිටපු නළු නිළියන්ගෙන් මීට වඩා දෙයක් ගන්න තිබුනා. සාමාන්‍යය මධ්‍යස්ථ මට්ටමක ඉඳගෙන මේ චිත්‍රපටිය බලපු කෙනෙක් විදියට කියන්න පුලුවන් නයන්තාරා, නිවින්, අජූ තුන්දෙනාගෙම රංගනය තිබුනේ average මට්ටමටත් වඩා පහළ කියලා. පැහැදිලිවම මීට වඩා වැඩක් මේ තුන්දෙනාගෙන්ම ගන්න තිබුනා. මොකද නයන්තාරගේ පෙනුම, නිවින්ගේ පෙනුම සහ ඒ චරිතයට අදාළව පෙන්නපු බීමත්කම තමයි මුලු චිත්‍රපටිය පුරාම හයිලයිට් වුනේ. අජූ වර්ගීස් කරපු චරිතය නොතිබුනත් සමහරවිට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැතිවෙයි, නිෂ්පාදකතුමා නිසා ඒ චරිතය දුන්නද දන්නෙත් නෑ. ඊළඟට අවසාන හරියේ තියනවා රාජෙන්ද්‍රන් පොලිස් නිලධාරියෙක් විදියට රඟපාන දර්ශනයක්. එතන නම් රාජේන්ද්‍රන් ඕවර් ඇක්ටින්, නිකන් අතක් පයක් හරවලා වුනත් හාස්‍යය ඇති කරන්න පුලුවන් මනුස්සයෙක්ව ඒ තරම් දඟලවන්න ඕන කමක් නැහැ. චිත්‍රපටිය පටන් ගන්න තැන ඉඳලා ඉවරවෙනකන්ම දිනේශන් බොනවා. අග හරියට යද්දි බලාගෙන ඉඳලාම එපා වෙනවා වගේ ගතියක් දැනෙනවා.
සමස්තයක් විදියට මේක විනෝදාස්වාදය ලබා දෙන්න කරපු චිත්‍රපටියක්. ලොකු සෝශල් මැසේජ්, ෆයිට්ස් එහෙම නෑ. ඒ අරමුණ නම් ඉෂ්ඨ කරගෙන තියනවා සාර්ථකව. ඒ වගේම හොඳ විචාරක ප්‍රසාදයක් ලැබිලා තියනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මිශ්‍රයි. සමහරු හොඳයි කියනවා, සමහරු වැඩක් නෑ කියනවා.
Love Action Drama චිත්‍රපටිය ධ්‍යාන් ශ්‍රීනිවාසන්ගේ පළවෙනිම අධ්‍යක්ෂණය විදියට හොඳ මට්ටමක තියනවා. හැම අතින්ම වගේ සෑහෙන දුරට සම්පුර්ණ චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ආදායම අතින් එහෙමත් සාර්ථකයි.
සාම්ප්‍රදායික මලයාලම් රහ කියලා එකක් හොයන අය ඉන්නවනේ. අන්න එයාලට නම් LAD බැලුවොත් සමහර විට අපේක්ෂා භංගත්වයක් දැනෙයි. මොකද මේක සාමාන්‍ය මසාලා ෆිල්ම් එකක්. ඒ වගේම ඔය එක එක රහ හොයන්නැතිව අතට අහු වෙන ඕනම ෆිලුමක් බලන කෙනෙකුට නම් බලලා රසවිඳින්න පුලුවන් චිත්‍රපටියක්.

One comment

  1. Me sub eka thama hadala nedda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *