Johny Johny Yes Appa(2018) Movie Review in Sinhala | ජොනී කියන්නේ හොරෙක්!!!

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා.
කාරියාන් මාස්ටර් තමන්ගේ පුතාලා තුදෙනාගෙන් වැඩිපුරම ආදරේ ජොනීට. මෙයාලා පොඩි කාලේ දවසක් ජොනී පිටර් එක්ක පල්ලියේ මංගල්ලේ බලන්න යනවා. නිකන් නෙවෙයි, තාත්තගේ මේස ලාච්චුවෙන් කාසි ටිකකුත් හොරකම් කරගෙන.ජොනී තමයි හොරකම කරන්නේ. පීටර් හොරකම් කරන්න
පස්ස ගහනවා, ඒත් ජොනී!! ඌ තමයි දවසකටවත් මිනිහා!

ජොනී ආදරේ කරන කෙල්ලෙකුත් ඉන්නවා, නම සීතා. හැබැයි විය යුතු පරිද්දෙන්ම සීතාගේ තාත්තට ජොනීව පේන්න බෑ.කොහොම නමුත් ජොනී කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අංක එකේ කපටියෙක්; බැටලු හමක් පොරවගත්ත නරියෙක්! හැමෝම මිනිහට හරිම ආදරෙයි. හැමෝම ජොනීගේ හොඳ තමයි කියන්නේ. ජොනී කියන්නේ හරියට නිකන් හුළං වැදිලා නැති විස්කෝතු පෙට්ටියක් වගේ ඉන්න මනුස්සයෙක්!

දැන් ජොනී ලොකුයි. එයාගෙ අයියා පීටර් විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. පොඩි එකා පිලිප් ඉංජිනේරු ශිශ්‍යයෙක්. කාරියාන් මාස්ටර්  වැඩිමහල් පුතාව ගෙදරින් පිටුවහල් කරලා තියෙන්නේ තමන්ගේ තනි කැමැත්තට විවාහ වුනා කියලා. හැබැයි පීටර්ගේ කසාදෙටත් හේතු වෙන්නේ ජොනීගෙ මගඩි වැඩක් කියලා කාරියාන් මාස්ටර් දන්නේ නෑ. පිලිප් තාමත් පොඩි එකෙක් වගේ වැඩ කරන්නේ.අවුරුදු විසි පහක් විතර වුනාට තාමත් හෝර්ලික්ස් බිබී ඩෝරා බුජ්ජි බල බල ලොකු අයියගේ ළමයි එක්ක සෙල්ලම් කරන්න යන එක්තරා විදියක පොඩි එකෙක්. මේ හේතු නිසා කාරියාන් මාස්තර ලොකු පුතාවයි බාල පුතාවයි අතෑරල දාලා තියෙන්නේ.

එතකොට ජොනී දැන් මොකද කරන්නේ???

දැන් ජොනී හොඳ, දක්ෂ, ස්මාර්ට් හොරෙක්. මිනිහා දවල්ට පල්ලියේ වැඩ කරනවා. රෑට හොරකමේ යනවා. ජොනී ගෙදරකට හොරෙන් ඇතුල් වෙලා, නාලා, කාලා, ගෙදර මනුස්සයගේ කමිසයක් කලිසමකුත් ඇඳගෙන, සල්ලි ටිකත් අරගෙන ශේප් එකේ ආපහු එනවා. ප්‍රොෆෙෂනල් හොරෙක්!! පල්ලියේ ස්වාමිගේ ප්‍රධාන ආදර්ශය ජොනී. පොලීසියේ මහත්තුරුන්ටත් එහෙමයි. එතකොට ජොනීගේ ගෑනු ළමයා?? එයත් ඉන්නවා. තාමත් ඒ දෙන්න ආදරය කරනවා. හැබැයි තාමත් සීතාගේ තාත්තට ජොනීව පේන්න බෑ. සමහර විට කපටින්ට තවත් කපටියෙක්ව ඉක්මනට අඳුනගන්න පුලුවන් නිසා වෙන්න ඇති. තමන්ගේ අහින්සක හිනාවෙනුයි මවලා පෙන්නන හොඳ ගතිගුණ වලිනුයි ජොනී තමන්ගේ තාත්තගේ ඉඳලා පල්ලියේ ස්වාමි වෙනකන් මුලු ගමක්ම රවට්ටගන්න සමත් වෙනවා.

එක දවසක් රෑ ජොනීගේ ජීවිතය කණපිට පෙරලෙනවා. ඒ හොරකම් කරන්න රිංගපු ගෙදරකින් මුණ ගැහුණු තවත් පොඩි හොරෙක් වන ආදම් නිසා. ආදම් කියන්නේ අනාථ නිවාසයක ජීවත් වන පොඩි කොලු ගැටයෙක්. ආදම්ගේ ආගමණයත් එක්ක ජොනීගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙනවා. මෙච්ච්ර කාලයක් පොරවගෙන හිටිය බැටලු හම ගැලවිලා යනවා.

ඒත් එක දෙයක් සිද්ද වෙනවා. තමන්ට බලාගන්න ලැබුනු පොඩි ගෑණු ළමයා නිසා Njan Prakashan එකේ ප්‍රකාශන් අහසින් පොළවට බහිනවා වගේ මෙතනත් ආදම් නිසා ජොනී සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කැමති අය ෆිල්ම් එක බලන්න.

2018 වසරේ තිරගත වුනු Johny Johny Yes Appa චිත්‍රපටය G. Marthandan මහත්තයගේ අධ්‍යක්ෂනයක්. පළවෙනි දින තුනේදි කෝටි තුනකට අධික ආදායමක් උපයාගැනීමට සමත්වෙලා තියනවා.

රඟපෑම පැත්තෙන් කියන්න තරම් අඩුවක් නැති චිත්‍රපටයක්. තිර රචනය ඉතාම හොඳයි. සිද්ධි ගොඩක එකතුවක් වුනාට ඒ සිද්ධි අතරේ හොඳ ගැලපීමක් තියනවා. සංගීත නිර්මානයත් හොඳටම හොඳයි. ලස්සන ගීත දෙකක් තුනක් තියනවා. පළමු අර්ධයේ ච්ත්‍රපටයේ ගලාගෙන යෑම දෙවන අර්ධයේදී සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන්.

තමගේ අස්සේ වැඩිපුරම ඉන්නේ ජොනී කෙනෙක්ද පිලිප් කෙනෙක්ද නැත්තන් පීටර් කෙනෙක්ද කියලා මැන ගන්න පුලුවන් මේ චිත්‍රපටයෙන්. වැඩිපුරම බර ජොනීගේ පැත්තට නම් ඒක පොඩ්ඩක් හිතල බලන්න ඕනේ කාරණාවක්.

කොහොමහරි Johny Johny Yes Appa කියන්නේ මලයාලම් සිනමා ලෝලියෙක් අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක් බව නම් නිසැකයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *