Hidden Story Of Nerkonda Paarvai Sinhala Articles | “මගේ දරුවන් ඔහුගෙන් නිහතමානීබව පිළිබඳ පාඩම උගත යුතුයි”

උතු⁣රින් දකුණට මෑතකදී පය ගැසූ සිනමා නිෂ්පාදකවරයා බොනී කපූර් ය. එසේ වුවත් දකුණත් සමග ඇති ඔහුගේ සැබෑ සම්බන්ධ⁣තාවය ආරම්භවන්නේ එක්දහස් නවසිය අනූ ගණන් වලසිටය. 1996 වසරේ සුරූපී නිළි ශ්‍රීදේවී සමග විවාහපත්වීමත් සමඟ එම සම්බන්ධ⁣ය කූඨප්‍රාප්තියට පැමිනුණි. 2 States චිත්‍රපටියේ අර්ජුන් කපූර් ඉදිරිපත් කලේ ඔහුගේ පියාගේ ජීවිත කතාවේ එක්තරා කොටසක ප්‍රතිනිර්මාණයක් බව ඇතැම් විචාරකයින් එකල ලියුවේද එනිසා වන්නට ඇත.

ශ්‍රීදේවී සහ අජිත් කුමාර් අතර මිත්‍රත්වයක් තිබුනද බොනී කපූර් ඔහුව අඳුනාගන්නේ ඉංග්ලිෂ් වින්ග්ලිෂ් සිනමා පටයේ දමිළ නිර්මාණය වෙනුවෙන් අජිත් ආරාධිත රඟපෑමකින් එක්වුනු අවස්ථාවේදී ය.
“රූගත කිරීම සඳහා බොම්බායට පැමිණිය හැකිදැයි ඇසූ අවස්ථාවේදී ඔහු ඉතා කැමැත්තෙන් එයට එකඟ වුනා. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් ගුවන් ටිකට්පත් පිළිබඳව විමසනවා; නමුත් ඔහු ඒ කිසිවක් අහන්නේ නැතිව තමන්ගේ පුද්ගලික වියදමින් බොම්බායට පැමිණ එම රූගත කිරීම සඳහා සහභාගී වුනා. එපමණක් නොවෙයි ඒ දර්ශනය සඳහා ඔහු කිසිදු මුදලක් අයකලෙත් නැහැ” යැයි මෑතකදී බොනී කපූර් පවසා තිබිණි.

බොනී කපූර් නිෂ්පාදනය කළ ‘පින්ක්’ හින්දි සිනමා පටයේ දමිළ ප්‍රතිනිර්මාණයක් සිදුකරන්නේ නම් ඒ සඳහා අජිත් කුමාර්ව දායක කරගත යුතු බවට ශ්‍රීදේවී විසින් සිදුකල ඉල්ලීමට බොනී සහ අජිත් ද්විත්වය සිදු කරනු ලැබූ ගෞරවයේ ප්‍රතිඵලය මේ වසරේ අගෝස්තු 08 වනදින ‘Nerkonda Paarvai‘ ලෙසින් කළඑළි බැසීමට නියමිතව තිබෙනවා.

Nerkonda Paarvai රූගත කිරීම් අතර අජිත් කුමාර් සහ බොනී කපූර් අතර තවත් විත්‍රපටි දෙකක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇතැයි මීට මාස කිහිපයකට පෙර කතාබහක් ඇතිවුනා. නමුත් එය අසත්‍යයක් බව අජිත් කුමාර්ගේ කළමනාකාරු විසින් එකල ප්‍රකාශ කර තිබුනද දැන් පළවන පුවත් අනුව පෙනී යන්නේ එය අර්ධ සත්‍යයක් බවයි.

බොනී කපූර්ට සම්බන්ධ⁣ ⁣බොලිවුඩ් ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ගිවිසුම්ගත චිත්‍රපටි සංඛ්‍යාව දෙකක් නොව තුනක් බවයි. ඒ වෙනුවෙන් අජිත් සහ බොනී කපූර් අතර රුපියල් කෝටි සියයක වටිනාකමකින් යුතු දීර්ඝකාලීන ගිවිසුමක් අත්සන් කර ඇතැයි International Business Times India Edition වාර්තා කරනවා.
එම ගිවිසුම්ගත චිත්‍රපටි ත්‍රිත්වයේ පළමු චිත්‍රපටිය Nerkonda Paarvai බවත් දෙවන චිත්‍රපටිය අජිත් කුමාර්ගේ අධිවේගී සහ අධි ධාවනකාරී විනෝදාංශය සැලකිල්ලට ගනිමින් නිර්මාණය වන action/ thriller වර්ගයේ අලුත්ම තේමාවක් සහිත, බොහෝ දුරට H.Vinoth විසින්ම අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටියක් වනු ඇති බවත් තෙවන චිත්‍රපටිය පිළිබඳව මේ වනතෙක් කිසිදු ඉඟියක් පළවී නොමැති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙසේ තොරතුරක් වාර්තා නොවන සිනමාපටය හින්දි චිත්‍රපටියක් වනු ඇති බවට සැක පළ වී ඇත.

“සතුටුයි! Nerkonda Paarvai තුළ අජිත්ගේ රඟපෑම අතිවිශිෂ්ඨයි. ඔහු ඉක්මණින්ම හින්දි චිත්‍රපටිවල රඟපෑමට එකඟ වනු ඇතැයි මම හිතනවා. ඔහුට ගැලපෙනම ආකාරයේ ක්‍රියාදාම චිත්‍රපටි පිටපත් තුනක් තිබෙනවා. අඩු වශයෙන් එයින් එකකටවත් ඔහු එකඟවනු ඇතැයි බලාපොරොත්තු වනවා” යනුවෙන් බොනී කපූර් ඔහුගේ ට්වීටර් ගිණුමේ සටහන් කර තිබුනා.

⁣ඔවුන් දෙදෙනා චිත්‍රපටියක් පිළිබඳව සාකච්ඡා කරමින් සිට ඇත්තේ ශ්‍රීදේවී ජීවත්ව සිටි කාලයේ සිටමයි. නමුත් අවාසනාවන්ත ලෙස සිදුවුනු ඇයගේ මරණයත් සමඟ එම අදහසත් යටපත්වී ගියා. ශ්‍රීදේවිට වුනු පොරොන්දුව ඉටුකරනු පිණිස අජිත් තම සියලු කටයුතු පසෙක තබමින් Nerkonda Paarvai වෙනුවෙන් එකඟවුනු බවත් එසේම ඇය විසින් පින්ක් චිත්‍රපටියේ ප්‍රතිනිෂ්පාදනය අජිත්ගේ රුචිකත්වයට ගැලපෙන ආකාරයෙන් සුලු සුලු වෙනස්කම් සහිතව සිදු කල යුතු බවට ප්‍රකාශ කර තිබුනු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

නමුත් බොනී කපූර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමා අජිත් කුමාර් සමග කෝටි සියයක ගිවිසුමක් අත්සන් කලා යැයි පැවසෙන පුවත් වාර්තා අසත්‍යයක් බවයි.
“Nkp වලින් පසුව අපි ක්‍රියාදාම චිත්‍රපටියක් පිලිබඳව සාකච්ඡා කලා. මම ඔහුව හින්දි සිනමාවට රැගෙන යාමට කැමතියි. නමුත් අජිත් මේවන තෙක් ඒ පිලිබඳව කිසිවක් පවසා නැහැ” යනුවෙන් ඔහු සඳහන්කර තිබුනා.

එසේම එයට පෙර ට්විටර් පණිවිඩයක ඔහු සඳහන්කර ති⁣බුනේ මෝටර් රථ සහ මෝටර් බයිසිකල් ධාවනය පිළිබඳව අජිත් තුල ඇති කැමැත්ත පිළිබඳව දැනගත් පසු තමා විමතියට පත් වුනු බවයි.

2019 ජුනි 17 දින My Nation පුවත්පත සඳහන්කරන ආකාරයට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් බොනී කපුර් පවසා තිබුනේ තම දරුවන් නිහතමානීත්වය පිළිබඳව අජිත් කුමාර්ගෙන උගත යුතු බවයි.
“ඔහු ඉතාම කාරුණික පුද්ගලයෙක්. ඒ වගේම ඔහු සියලුදෙනාටම ගෞරවයෙන් සලකනවා” යැයි බොනී පවසනවා. එසේම ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබෙනවා.
“ඔහු තමන්ට අවශ්‍ය සියල්ල සාක්ෂාත් කරගෙන තිබෙනවා. ඔහු සුපිරි තරුවක්, නමුත් පො⁣ළවේ පය ගහගෙන ජීවත් වෙනවා. ඔහු සියලු දෙනාටම ගෞරව කරනවා; ඒ තැනැත්තා තේ හදන ළමයා වුනත්, ආලෝකකරණ ශිල්පියෙක් වුනත්, ඔහුගේ මිතුරෙකු වුනත්, ගැහැණු-පිරිමි හෝ ජේෂ්ඨ-කනිෂ්ඨ මේ කවුරුන් වුනත් ඔහු සියලු දෙනාටම ලොකු ගෞරවයකින් සලකනවා. මගේ පවුගේ අය පමණක් නොව සියලු දෙනාම ඔහුගේ එම ආදර්ශය ලබා ගත යුතුයි. මා ඔහු හඳුනාගත් පළමු දිනයේ සිට අද දක්වාම ඔහුගේ එම ගුණය නොවෙනස්ව පවතිනවා”

Nerkonda Paarvai චිත්‍රපටය පිළිගැනීම සඳහා තමිල්නාඩුවේ අජිත් කුමාර් රසිකයින් මේ වනවිට  සැදීපැහැදී සිටිනවා. චිත්‍රපටයක් ලෙස එය නිසැකයෙන්ම සාර්ථක වනු ඇති නමුත් ආදායම අතින් එහි සාර්ථක හෝ අසාර්ථක බව තීරණය කිරීමට නම් අගෝස්තු 08 වනදා තෙක් බලාසිටිය යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *