Home / ඔක්කොම එකට / DIA (2020) Review
Dia (2020) Sinhala

DIA (2020) Review

කන්නඩා චිත්‍රපටයක් වන දියා මේ වසරේ ඇමේසන් ප්‍රයිම් වීඩියෝ ඔස්සේ කරලියට පිවිසි දින සිටම හොඳ විචාරයන් ලබා ගනිමින් සිටී.අන්තිමේදී මම මගේ යහනේ සැපපහසුවට හිඳිමින් චිත්‍රපටය සිව් වරක් නැරඹුවෙමි. මේ මම දියා ගැන ලියනා දෙවනි වතාවය. හේතුව නම්. ඉන්බොක්ස් හරහා මට ලැබුන අභියෝගයකි. එදා ඉඳන් අභියෝග වලට මුහුණ දීමට මා තුල ඇති කැමැත්ත නිසාම මෙසේ ලියන්නට සිතුවෙමි. මට ලැබුන අභියෝගය නම් මා නරඹන්නේ ක්‍රියාදාම ත්‍රිලර් ක්‍රයිම් වර්ගයේ චිත්‍රපට පමණක් නිසා මා ආදරය ගැන නොදන්නා කෙනෙක් යැයි සිතන බවත් එම නිසා පුලුවන් නම් ආදර කතාවක් ගැන විචාරයක් ලියන්නයැයි . මා හට ලැබුන අභියෝගයයි. මා චිත්‍රපට ගැන ලියන්නේ මගේ ආකාරයට මිස. සාමාන්‍යයෙන් මහා විචාරකයන් ලියනා ආකාරයට නොවේ. නමුත් අද ඒ ආකාරයට මෙය ලියන්නට මා උත්සහ කරමි. මා මහ ලොකු උගතෙක් නොවන බැවින් අඩුපාඩු තිබේයැයි සිතමි. නමුත් මා අභියෝගය මෙලෙස සටහන් කරමි .

දියා ඉන්දීය චිත්‍රපටයක මින් පෙර මා නුදුටු ආකාරයට ආත්මයම මූර්තිමත් කරන අතර එය ලබා ගන්නා සියලු ප්‍රශංසාවන් ලැබීමට සුදුසුය. එහෙත්, එය මා විශ්වාස කිරීමට හේතු වූ මූලික කරුන චිත්‍රපටයේ තේමාව නොවේ . තරුණියකගේ හිතෙහි තරුණයෙකු ගැන ඇති වන ආදර හැගීම කුමන ආකරයේ දෙයක්ද සහ එම හැඟීම තුල තරුණියක හැසිරෙන අයුරු තරුණියකගේ කෝණයෙන් ලොවට විවෘත කිරීමට දියා හි අධ්‍යක්ෂ කේ.එස්. අශෝක් දරා ඇති විශිෂ්ඨ උත්සහයයි. අශෝක සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයන්ට නවමු ආකාරයේ අත්දැකීමක් ලබාදෙන්නට මේ තුල උත්සහ කල බව නම් පෙනේ.

පියවි ඇස් වලට නම් , දියා යනු ආදර ත්‍රිකෝණයකි . එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකි. එහෙත්, අශෝක් ගේ සැබෑ උපක්‍රමය වෙනත් තැනකට පැමිණ ඇති බව මාහට දැනුන දෙයකි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබ තුන් කොන් ප්‍රේමයක්යැයි චිත්‍රපටය ගැන සැහැල්ලුවෙන් සිතන විටම ඔබේ සිත වෙනතකට යොමු කරන්නටය.

නිදසුනක් ලෙස, දියා යන්නෙන් අදහස් කරන්නේ පහනයි( මා කන්නඩා භාශාව ගැන දන්නා උගත් ආකාරයට ). පහනෙහි මූලික ගුණාංගය වන්නේ අවට ඇති අන්ධකාරය ඉවත් කර ආලෝකය විහිදුවාලීමයි. එය අපගේ මනසට අශෝක් ගෙන එන්නේ මෙවැනි අර්ථයකි. එනම් පහනක් ආලෝකය විහිදුවා දැල්වී තිබ්යදි එක්වරම නිවීයයි. නමුත් නැවත වරක පහන අයෙකු විසින් දල්වා ආලෝකය ලබා දී පහණට ජීවය දුන්නත්. ආලෝකය රඳවාගෙන වැඩි වේලා දැල්වීමට පහනට ඉඩක් ලැබෙන්නේ නැත.

කතාව ගැන

ඩියා ස්වරූප් (කුෂී රවි) දඟකාර හුදකලා තරුණියකි.. ඇය පාසලේදී ඇයගේ ජ්‍යෙෂ්ඨයකු වන රෝහිත්ව දුටු මොහෝතේම ඔහු ගැන ආදරයක් ඇයට ඇතිවේ. රෝහිත් (ධීක්ෂිත් ෂෙට්ටි), ඉහළ පෙළේ සිසුවෙක් වන අතර විද්‍යාලයේ ගැහැනු ළමයින් අතර ඔහු අතිශය ජනප්‍රියයි.

ඇය ඔහුට ආදරය කරයි, ඊර්ෂ්‍යා කරයි. එහෙත්, ඇය කිසි විටෙකත් ඔහුට කතා කිරීමට උත්සහ නොකරයි . ඔහුගේ ජනප්‍රියත්වය දියා බිය ගන්වයි, ඇය ඔහුට තමාව හඳුන්වාදීමට සිය වතාවකට වඩා පෙරහුරු කළද ඔහු හමු වු විට ඔහු සමඟ කතා කිරීමට ඇය අසමත්ය.

විද්‍යාලයේ ජනප්‍රිය පිරිමි ළමයා සමඟ ආදරයෙන් බැඳී සිටින ගැහැණු ළමයා ඔහු ගැන දක්වන උනන්දුව ඔහු නොදැකීම සහ ඔහුට නොදැනීම ගැන මුලදී, අපව පුදුමයට පත් කරයි., ඔහු අවම වශයෙන් එක් වරක්වත් ඇය දෙස බැලුවාද? නැත. අශෝක් අපව දියාගේ චරිතය තුල ජිවත් කරවු බැවින් අපට එය ගැන කතාවේ මධ්‍යය වන තුරු එය දැනගන්නට නොහැකිය.

ඊට පසු අපිට ආදි (ප්‍රිත්වි අම්බාර්) මුණගැසෙනවා. ඔහු ජීවිතය විස්මයන්ගෙන් හා හාස්කම් වලින් පිරී ඇති බව විශ්වාස කරන මිනිසෙකි. ඔහු දියාගේ ජීවිතයේ අඳුරුතම කාලය තුළ ඇයගේ ජීවිතේට ආලෝකය රැගෙන එයි. ඔහුගේ ධනාත්මක දෘෂ්ටිය දියාගේ අශුභවාදී සිතුම් පැතුම් වලට වඩා සෘජුවම වෙනස් ය. ඇය සිතන්නේ ජීවිතය වේදනාවෙන් හා ගැටලුවලින් පිරී ඇති බවයි. ආදී යනු දියාගේ ජීවිතේට පෑයු හිරු මෙන්යැයි අපට සිතෙන්නේ ඉබේටමයි , ඔහු නැවතත් දියාගේ ජීවිතය ආලෝකමත් කරයි කියා අප හිතනවා. දියාගේ අන්ධකාරයට ආදි ආලෝකය ගෙන ආවාද?

පැය දෙකයි විනාඩි පහලවක් පුරාවට. දියාගේ ජිවිතය තුල නරඹන්නා ජිවත් කරවීමට අශෝක් ගත් උත්සහය අති සාර්ථක බව කිව යුතුමය.

හිතට තිගැස්මක් ඇති වන යමක් කතාවේ කොතනක හෝ සිදුවේ. එය අවසානේදීද? කතාවේ මැදදීද යන්න . නරඹන අයටම දැන ගත හැකිය.

එසේනම් දියා වෙනුවෙන් මා ලියු දෙවනි සටහන. මෙසේ අවසන් කරමි.

මධුශංඛ ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *