Dear Comrade (2019) Sinhala Review | ‘ඔබේ ආදරය වෙනුවෙන් සටන් කරන්න’

බොබී විප්ලවකාමී තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔහු ගුරුහරුකම් ලබා ගන්නේ තම සීයාගෙන් ය. ලිලී ප්‍රාන්ත මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවකි. දිනක් මහමගදී සිදුවන හදිසි අනතුරක් නිසා බොබී සහ ලිලී එකිනෙකා මුණගැසෙති. එතැන් සිට ඇරඹී ගලාගෙන යන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව ය.

විජේ දෙවරකොණ්ඩා සහ රශ්මිකා විසින් ප්රධාන චරිත සඳහා පණ පොවන Dear Comrade චිත්රපටිය සුවිශාල ප්රේක්ෂක ආකර්ශනයකුත් එවැනිම විචාරක අවධානයකුත් දිනා ගැනීමට සමත්වී තිබේ. ඒ අවධානය කෙතෙක්ද යත් සාමාන්‍යයෙන් කිසිදු චිත්රපටියට හොඳක් නොකියන, හොඳක් නොදකින Behindwood Review Board Rating දර්ශකය මේවන විට 2.75(Good Enough) කරකැවී තිබීමම චිත්රපටියක් ලෙස Dear Comradeහි සාර්ථකත්වයට මනා සාක්ෂියකි.

බොබීට ලිලීව මුණ ගැසෙන හුරුබුහුටි මොහොතත් සමඟම චිත්රපටියේ පළමු අර්ධය දීප්ත්මත් අයුරින් ගලා යයි.
විජේගේ සහ රශ්මිකාගේ රඟපෑම ඉතාම සාමාන්ය ලෙසයි දැනෙන්නේ. අධි රංගනයක් හෝ අව රංගනයකින් තොරව සාමාන්ය එදිනෙදා ජීවි⁣තයේ හමුවන මිනිසුන් ලෙස ප්රේක්ෂකයාට දැනීයන අයුරින් නළු නිළියන් හසුරුවා ගැනීමට අධ්යක්ෂකවරයා සමත්වී තිබේ.

මට නම් චිත්රපටිය සැබෑවටම ආරම්භ වන්නේ දෙවන අර්ධයේ සිටයි. ප්රේමයේ සුන්දරත්වයත් විරහවේ වේදනාවත් මනාව පිළිබිඹු කරන චිත්රපටියේ උද්වේගාත්මකම ⁣ජවනිකා අඩංගු වන්නේ දෙවන අර්ධය තුළයි.

එම දෙවන අර්ධය තුලින් මම විශේෂ කරුණු කිහිපයක් දකිමි. පළමුවෙන්ම මෙමගින්  අප සියලුදෙනාවම උසුලා දරා සිටින මේ ස්වභාවධර්මයේ මිහිරි හඬට ඇහුම්කන් දීම තුලින් පුද්ගලයෙකුගේ මනෝභාවයෙහි ඇති වන ධනාත්මක වෙනස්වීම පිළිබඳව පෙන්වාදී තිබෙයි. තෙලිඟු සිනමාවට තරමක් දුරට ආගන්තුක මෙවැනි සිදුවීම් චිත්රපටියේ පිටපත් රචකයා වෙත වෙනත් සිනමාවකින්(බොහෝ දුරට ඉංග්රීසි විය හැකියි) යම් සාධනීය බලපෑමක් සිදුවී ඇති බවට සාක්ෂියක් ලෙසද සැලකිය හැකියි.

⁣එසේම මෙම චිත්රපටියේ ඇත්තේ ඉතාම සෞම්යය ලෙස ගලාගෙන යන ආදර කතාවකි. එය කිසිදු විටෙක  තාත්වික බව ඉක්මවා නොයයි. සිප ගැනීමේ දර්ශන කිහිපයක්ම තිබුනද ඒවා කිසිසේත්ම ශීලාචාර භාවය ඉක්මවා යන මට්ටමේ දර්ශන බවට පත්කර නොමැති වීමද විශේෂ කරුණක් ලෙස පෙනී යයි.

තෙවැනි කාරණය වන්නේ සටන් ජවනිකා ය. විජේ විසින් ඔහුගේ ‘රවුඩි’ නාමය තහවුරු කරගෙන ඇත. මගේ අදහස මේ ආකාරයේ චිත්රපටි සඳහා දිගින් දිගටම සම්බන්ධ⁣ නොවීමට ඔහු ගත් තීරණය නිවැරදි බවයි. එම තීරණය නොගත්තා නම් සිදුවන්නේ ඔහු එක්තරා රාමුවකට පමණක් සීමා වුනු නළුවෙක් ලෙස ලේබලයක් අලවා ගැනීම පමණකි. සිනමාවේ දිගු කලක් රැඳී සිටිය හැකි පුද්ගලයෙකු ලෙස ඔහු විසින් සිනමාවේ තමාට හැකි තරම් ශානරයන් ස්පර්ශ කිරීම වැදගත් වනු ඇත.

පෙර පැවසුනු පරිදි කාන්තාවන් සඳහා ප්රබල මට්ටමේ පණිවිඩයක් අඩංගු වී ඇති බවක් නම් පෙනී යන්නේ නොයන අතර මෙහි අඩංගු සිදුවීම චිත්රපටි ලෝකයේ සාමාන්ය සිදුවීමක් බව මගේ පුද්ගලික අදහසයි. එය එතරම් ප්රබල ලෙස මතුකර ඇති බවක් දැනෙන්නේ නැති  නමුත් නරඹන්නන් වෙත අවවාදාත්මක පණීවිඩයක් නිකුත් කරනවා; ‘ඔබ කාන්තාවක් ස්පර්ශ කිරීමට පෙර තවත් වරක් සිතිය යුතුයි, කවදාක හෝ ඔබේ අනිසි ක්රියාව වෙනුවෙන් ලැබිය යුතු ප්රතිචාරය නොඅඩුවම ලැබෙනු ඇති’.

පසුබිම් සංගීතය සහ ගීත සියල්ලම අතිවිශිෂ්ඨ ය. එසේම ආලෝකකරණ සහ කැමරා කෝණ හැසිරවීම පිළිබඳවත් සෑහීමකට පත්විය හැකියි. කතාවේ සිද්ධි අතර තාර්කිකමය ගැලපීමක් ති⁣බෙන අතර අහසින් කඩා වැටෙන අගක් මුලක් නොමැති  සිදුවීම්ද නැති තරම් ය. විශේෂයෙන්ම අවසාන පැය භාගය ඉතාම විශිෂ්ඨ ලෙස ගලපාගෙන ඇත. චිත්රපටිය සඳහා දායක වුනු සියලුම නළුනිළියන් අවශ්ය පරිදි හසුරුවා ගැනීමට අධ්‍යක්ෂකවරයා සමත්වී තිබීම කැපී පෙනෙයි.  අනවශ්ය විහිලුකාර චරිත සඳහා ඉඩකඩ ලබාදී නොමැති සේම  නම් දැරූ විකට නළුවන් නැති වීමත් විශේෂත්වයකි. මෙය Bharat Kamma නම් අධ්යක්ෂකවරයාගේ කුළුඳුල් අධ්යක්ෂණය වන අතර ඔහු පළමු චිත්රපටිය තුළින්ම අති සාර්ථකවී ඇති බව නම් නිසැකය.

කෙසේ නමුත් Dear Comrade යනු නැරඹිය යුතුම චිත්රපටියක් බවට කිසිදු සැකයකින් තොරව නිර්දේශ කිරීමට හැකියි.

ඒකාකාර, සරල රේඛීය මගක් නැති ජීවන ගමනේ වැටීම සහ වැටෙන විට නැගිටීම පිලිබඳව අවබෝධ කරගන්නා යථාර්ථවාදී මිනිසුන් හට ඕනෑම අසීරු අවස්ථාවක මුහුණදී නැවතත් උදාසනට දිදුලන සූර්යා මෙන් තම අරමුණු සහ අභිලාෂයන් සාර්ථක කරගැනීමට හැකි බව තහවුරු කරන Dear Comrade චිත්රපටිය ඕනෑම සිනමා ලෝලියෙකුට සොඳුරු මතකයක් වනුඇති බව නම් නොඅනුමානය.

One comment

  1. එලම එලම අක්කෙ..
    මරු ලිපිය❤👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *