Babu Bangaram Sinhala Article | පෙම් කරන එක කලාවක්

කතාව කෙටියෙන්…..

ක්‍රිෂ්ණා නොහොත් බාබු බන්ගාරාම් සහකාර පොලිස් කොමසාරිස්වරයෙකි(ACP). එසේම ඔහු කරුණාවන්ත පුද්ගලයෙක්ද වෙයි. තමාගෙන් දඬුවම් ලබන වැරදිකරුවන් පිලිබඳව පවා කණගාටු වන ඔහු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වුවද ලබාදීමට පසුබට නොවෙයි.

දිනක් ක්‍රිෂ්ණා ඔහුගේ සහායකයින් සමග අවන්හලකට ගිය අවස්ථාවක වැඩිහිටි පිරිමියෙකු සමඟ හඬමින් කතා කරනා ගැහැණු ළමයෙකු දකියි. නමින් ශයිලාජා වන ඇය ඒ මොහොතේ කතාකරමින් සිටින්නේ තම බාප්පා සමග යි. ඇයගේ රූමත්කමත් කඳුලු වැකි මුහුණත් ක්‍රිෂ්ණාහට එකවර පහර දෙන්නට වුනු බැවිනුත් ස්වභාවයෙන්ම කාරුණික පුද්ගලයෙකු වන බැවිනුත් ඇය කෙරෙහි සිත ඇදී යන ක්‍රිෂ්ණා මෙම තරුණිය පිළිබඳව සොයා බලයි.

ශයිලාජා ජීවත් වන්නේ ඇගේ මවත්, ආච්චී සහ සොහොයුරියන් සිව්දෙනාත් සමග ය. පවුලේ දිවි පැවැත්ම තීරණය වන්නේ ශයිලාජා විසින් පවත්වාගෙන යනු ලබන ආහාරපාන ව්‍යාපාරය නිසාවෙනි. ආර්ථික ප්‍රශ්න පමණක් නොව ඇගේ ප්‍රේමය පතා පසුපසින් එන මාමා⁣කෙනෙකුගේ පුතෙක් වන බාබ්ජී ගෙන්ද ඇගේ පියා සම්බන්ධ⁣ කරුණක් නිසා මුලු පවුලටම හිරිහැර කරන MLA වරයෙක් සහ ඔහුගේ මැරයන්ගෙන්ද ශයිලාජා පීඩා විඳියි.

සියලු කරුණු කාරණා සොයා ගැනීමෙන් අනතුරුව ක්‍රිෂ්ණා ශයිලාජාගේ මස්සිනා වන බාබ්ජී හරහා ඇයට සමීප වන්නේ තමා පොලිස් නිලධාරියෙකු බව සඟවමින් ය. කෙසේ හෝ දෙදෙනා අතර ප්‍රේමයක් ඇති ⁣වන අතර ක්‍රිෂ්ණාද ශයිලා⁣ජාටත් ඇගේ පවුලේ සාමාජිකයින්ටත් ඉතා ආදරයෙන් යුතුව සලකමින් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුද නිරාකරණය කරමින් කාලය ගතකරයි.

නමුත් ක්‍රිෂ්ණා විසින් සිදු කරනු ලබන මේ සියල්ල සැලසුමකට අනුව සිදුවන රඟපෑමක් පමණි. ඔහු මේ සියල්ල සිදු කරන්නේ ඔහුගේ ඉහළ නිලධාරියාගේ අණ පරිදි අපරාධ චෝදනාවක් ලබා දැන් සැඟවී සිටින ශයිලාජාගේ පියා වන සාස්ත්‍රී සොයා ගැනීම සඳහා ය.

සාස්ත්‍රී ආදායම් බදු නිලධාරියෙකි. ඔහුත් ඔහුගේ ඉහළ නිලධාරියාත් මල්ලේශ් යාදව් නැමැති පුද්ගලයෙකුගේ නිවසේ කරනු ලබන වැටලීමකින් ඔහුත් එම ප්‍රදේශයේ MLA වරයාත් අතර පවතින නීතිවිරෝධී ගණුදෙනු පිළිබඳව විස්තර ඇතුලත් pen drive එකක් සොයා ගනිති. ඒ සිද්ධියට පලිගැනීමක් වශයෙන් මල්ලේශ් යාදව් විසින් සාස්ත්‍රීගේ ඉහළ නිළධාරියාව මරාදමා එම වරද සාස්ත්‍රී වෙත පටවයි. එම චෝදනාවෙන් මිදීමට සාස්ත්‍රී නිවසින් පිටවි ගොස් රහසිගත ජීවිතයක් ගත කරනු ලබයි.

මේ අතර ශයිලාජාගේ ආච්චී හදිසියේ අසනීපව රෝහල් ගත කරනු ලබයි. ඇය දැඩිව පවසන්නේ තම පුත්‍රයා දැකීමට අවශ්‍ය බව ය. ක්‍රිෂ්ණාද පියාව ගෙන්වා ගැනීම සඳහා ශයිලාජාව උනන්දු කරයි. කෙසේ හෝ සාස්ත්‍රී රෝහලට පැමණිපසු ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී ශයිලාජාගේ පවුලේ පිරිස සමා පිලිබඳව සාස්ත්‍රී සමඟ පවසන දෑ ක්‍රිෂ්ණාට කන වැකෙන අතර එයාන් පසුව ඔහුගේ උණුවන හදවත ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගැනීම නවත්වා දැමීමට තීරණය කරයි. නමුත් එතැනට කඩා වදින ඔහුගේ කනිෂ්ඨ නිලධාරීන් ක්‍රිෂ්ණා පිලිබඳව සියල්ල හෙලිකරමින් සාස්ත්‍රීව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරති.

කෙසේ හෝ යුවලගේ ප්‍රේමකතාවට එතැනින් නැවතීමේ තිත වැටෙන අතර එතැන් සිට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට චිත්‍රපටිය බැලිය යුතුම ය.

නලුනිළි කැල…..

ACP ක්‍රිෂ්ණාගේ චරිතයට පණපොවන්නේ වික්ටරි වෙන්කටේශ් නොහොත් Venkatesh Daggubati විසින් ය. සාමාන්‍යයෙන් වෙන්කටේශ්ගේ පැරණි චිත්‍රපටි තුලින් ප්‍රේක්ෂකයා දැක පුරුදු අඩක් හාස්‍යයද අඩක් ක්‍රියාදාමයන්ද සංකලනය වුනු ඔහුගේ සුපුරුදු රංගන රටාව නැවතත් මෙම චිත්‍රපටිය තුලින් දැක ගැනීමට පුලුවන. ACP ක්‍රිෂ්ණාගේ චරිතයට ඔහු තමාගේ උපරිමයෙන්ම සාධාරණ ඉටුකොට තිබේ.
ශයිලාජා ලෙස රංගනයෙන් එකතු වන්නේ නයන්තාරා ය. සුන්දර නයන්තාරා අති සුන්දර ලෙස මෙම චිත්‍රපටිය තුලින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇත. ඇයගේ රංගනය සුපුරුදු ලෙසම විශිෂ්ඨ ය.
මෙම චිත්‍රපටිය වෙන්කටේශ් සහ නයන්තාරා එක්ව රංගනයේ යෙදුන තෙවන චිත්‍රපටියද වේ.
එසේම කිෂෝර්, සම්පත් රාජ්, Posai Krishna Maurali, ජයප්‍රකාශ්, මුරලි ශර්මා සහ බ්‍රහ්මානන්දම් වැනි ප්‍රවීන නළුනිළි කැලකගේ රංගන ස්පර්ශයෙන් මෙම චිත්‍රපටිය වඩාත් හැඩවී ⁣තිබේ.

අධ්‍යක්ෂණය සහ සංගීතය….

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Shailaja Reddy Alludu, Mahanubhavudu සහ Prema Katha Chitram වැනි චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කල ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන Maruthi Dasari විසින් ය. ඉන්දියානු රුපියල් කෝටි 28ක් වැය කරමින් නිපදවා 2016 වසරේ තිරගත වුනු මෙම චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 46 බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගෙන ඇත.

චිත්‍රපටියේ මුල් අර්ධයට වඩා දෙවන අර්ධය සාර්ථක වන අතර මුල් අර්ධයේ ඉතා ප්‍රබල ලෙස චිත්‍රපටිය හසුරුවන ප්‍රධාන නිළිය දෙවන අර්ධය තුලදී යම් තරමකට පසුබා ඇති ස්වභාවයක් පෙන්නුම් කරයි. චිත්‍රපටියේ ප්‍රතිවීර චරිත හැසිරවීමද සෑහෙන මට්ටමකට සාර්ථකය. විශේෂයෙන්ම සම්පත් රාජ්ගේ රංගනය කැපී පෙනෙයි.
සංගීතය නිර්මාණය කර තිබෙන්නේ Ghibran විසින් වන අතර පසුබිම් සංගීතය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි නමුත් චිත්‍රපටියට අලංකාර ගීත කිහිපයක් අඩංගුකර ගැනීමට නම් ඔහු සමත්වී ඇත. විශේෂයෙන්ම Mallela Vaanala ගීතය නරඹන පුද්ගලයෙක් ගීතයටත්, නයන්තාරාටත්, ඇගේ රූසපුවටත් වශි නොවන්නේ නම් එය පුදුමයකි.

වේදාලම් චිත්‍රපටියෙන් යම් ආභාශයක් ලබාගත් බවක් සිතිය හැකි සටන් ජවනිකාවක්ද අඩංගු වන අතර නාන්නකු ප්‍රේමතෝ චිත්‍රපටියෙන්ද උපුටා ගැනීමක් සිදුකර තිබේ.
සමස්තයක් වශයෙන් තිර පිටපතේ අඩුපාඩු අවම වන අතර සිදුවීම් අතර මනා ගැලපීමකින් යුතුව චිත්‍රපටිය ගලාගෙන යනු ලබයි.

තෙලෙඟානාවේ සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත වල වෙන්කටේශ් රසිකයින් අමන්දානන්දයට පත්කල Babu Bangaram චිත්‍රපටිය හුදෙක් විනෝදාස්වාදය ප්‍රිය කරන තෙලිඟු සිනමා ලෝලීන් නැරඹිය යුතුම චිත්‍රපටියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *